කරාපිටිය 58 වාට්ටුව පිළිබඳ වෛද්‍යවරු කරුණු කියති.

0
686

කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවේ රෝගියකු අසළ සිටි අයකු ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු රෝහලේ බලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වෛද්‍යවරු කිහිප දෙනකු තම නම සඳහන් නොකරන ලෙස ඉල්ලමින් අද (25) උදෑසන කියා සිටියේය.

ඔහු පවසන්නේ කොරෝනා ආසාදිත පුද්ගලයකු හමුවූ විට එම ආසාදිතයාගෙන් අන් අයට සිදුවන හා සිදුවිය හැකිව තිබූ බලපෑම පිළිබඳ තක්සේරු අධ්‍යයනයකින් පසු නිරෝධානය ක්‍රමවේදයන් අනුගමනය කරන බවයි. මෙම ආසාදිත පුද්ගලයා සිය පුත්‍රයා සමඟ රෝහලට පැමිණ ඇත්තේ පසුගිය බදාදා (21) සවස 5.00 ට පමණය.

අප සමඟ කරුණු පැහැදිලි කර වෛද්‍යවරු කියා සිටියේ එම ආසාදිත පුද්ගලයා රෝහලේ ගත කර ඇති කාලය පැයක් හෝ ඊට ආසන්න කාලයක් බවයි. ඔහුගෙන් සිදුවිය හැකි බලපෑම් පිළිබද තක්සේරු කිරීමේ දී එම පුද්ගලයා මුඛ ආවරණයක් පැළඳ සිටියේ ද ? එම මුඛ ආවරණයේ වර්ගය හා ස්වභාවය ? ඔහුගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය, ඔහු සමග සමීප වූවන් සමීප වූ වූ ආකාරය, ඔවුන් පැළඳ සිටි මුඛ ආවරණ වර්ගය හා ස්වභාවය, අනිකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග, ආසාදිතයා සිටි පරිශ්‍රයේ ස්වභාවය, එම ස්ථානයේ සිටි පුද්ගලයන් සංඛ්‍යාව හා ඔවුන් අනුගමනය කළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් ආදිය පිළිබඳ සොයා බලන බවයි.

මේ කරුණු සොයා බැලීමෙන් අනතුරුව අදාල ආසාදිතයාගෙන් අනෙකුත් පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වීම සඳහා ඇත්තේ වැඩි අවධානමක් ද, මද අවදානමක් ද, අඩු අවදානමක් ද යන්න තීරණය කරනු ලබන්නේ ඒ පිළිබඳ විශේෂඥයන් විසින් බව වෛද්‍යවරු කියති.

මෙම ආසාදිතයා පිළිබඳ තොරතුරු වාර්තාවීමෙන් පසු එවැනි තක්සේරුවක් කර ඇති බවත් ආසාදිත පුද්ගලයාගෙන් රෝහල් කාර්ය මණ්ඩලය හා එම අවස්ථාවේ වාට්ටුවේ සිටි පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වීමේ අවදානම ඉතාමත් අඩු බව තීරණය වූයෙන් කාර්ය මණ්ඩලයේ සියලු දෙනා නිරෝධායනය කර වාට්ටුව වසා දැමීමේ අවශ්‍යතාවක් නොවූ බව ද එම වෛද්‍යවරු පවසති.

එසේ වුවත් මේ ආසාදිතයාට සෘජුව සම්බන්ධ වී ඇති වාට්ටුවේ සිටි වෛද්‍යවරයකු මේ වනවිටත් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් ආසාදිතයාගේ පුතා සිටි ස්ථානය දෙපස ඇඳන්වල සිටි රෝගීන් දෙදෙනා ද හඳුනාගෙන නිරෝදායනය වන ලෙස උපදෙස් දී ඇති බවත් පවසති.

මෙවැනි අවදානම් තක්සේරුවක් සිදුකර්නනේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්නායකවලට අනුව බව ද ඔවුන් පවසන කරුණකි.

පසුගිය දිනවල කොරෝනා ආසාදිතයකු වාට්ටුවකට හෝ රෝහලකට පැමිණි බවට ආරංචියක් පැතිර ගිය වහාම වාට්ටු සහ ඇතැම් ප්‍රතිකාර ඒකකයන් පවා තාවකාලිකව වසා දමා සම්පූර්ණ කාර්ය මණ්ඩල නිරෝධායනය කිරීමටත් පරිශ්‍රය විෂබීජහරණය කිරීමටත් කටයුතු කළේ මෙවැනි නිර්ණායක නොමැතිව දැයි අප විමසූ විට එම වෛද්‍යවරුන්ගේ පිළිතුර මෙසේ ය.

”ඒක අපි දන්නේ නැහැ. මේ රටේ තියෙන මතය තමයි රෝගියෙක් හමුවුණාම ආශ්‍රිතයන් සියලු දෙනා ම නිරෝධායනය කරන්න අවශ්‍යයි කියලා. ඒත් එහෙම ඔ්නෑ නෑ, ඒකට ක්‍රයිටීරියා එකක් තියෙනවා. අනිත් රෝහල්වල රෝගීන් වාර්තා වුණා ම වාට්ටු සහ ඒකක තාවකාලිකව වසා දමා නිරෝධායන කටයුතු කරන්නේ ඇතැම් විට ඒ අවස්ථාවේ අවදානම් තක්සේරුවක් නොකර ම විය හැකියි. නමුත් අපේ කරාපිටිය රෝහලේ මේ තක්සේරුව කරලා තමයි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ.”

ඔවුන් පවසන්නේ එම ආසාදිතයාගෙන් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදනය වීමේ අඩු අවදානමක් තිබූ බැවින් මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමන කළ බවයි.

කාරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණීමට බිය නොවන ලෙස ද ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා මාධ්‍යයට කරුණු පවසන්නේනම් සුදුසු යැයි අප යෝජනා කළ විට වෛද්‍යවරු කියා සිටියේ කිසිවෙකුට රෝහල් අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගත නොහැකි බවයි. පසුගිය දිනවල සිදුවූූූූ රිය අනතුරක් හේතුවෙන් රෝහල් අධ්‍යක්ෂ පරිපාලන කටයුතුවල වැඩි වගකීම් නියෝජ්‍ය අධ්‍යක්ෂවරියන් දෙදෙනාට පවරා ඇත.

සටහන – සජීව විජේවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here