spot_img
spot_imgspot_img

“අවලස්සන ඇමෙරිකානුවා” සැබැවින්ම කවුද ?

පුවත්

විදෙස්

“අවලස්සන ඇමෙරිකානුවා” යන වචනය පසුගිය දා ප්‍රසිද්ධ මාධ්‍ය හමුක දී කරළියට ආවේය. එම කතාව කීවේ රජයේ අමාත්‍යවරයකුව සිට ඇමතිධූර අහිමිවීමෙන් පසු මාධ්‍ය හමුවක් පැවැත්වූ විමල් වීරවංශ මහතා විසිනි.

රජයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ කොන්ත්‍රාත්තුවක් සිදුකරන බව කියමින් විමල් වීරවංශ මහතා විසින් බැසිල් රාජපක්ෂ මහතාට “අවලස්සන ඇමෙරිකානුවා” යැයි චෝදනා කළේය.

අවලස්සන ඇමෙරිකානුවා යනු ශ්‍රී ලංකාවට හෝ ලෝකයට අලුත් හෝ අමුතු වචනයක්‍ නොවේ.

විලියම් ජේ.ලෙඩරේර් සහ ඉයුජින් බර්ඩික් විසින් රචිත “The Ugly American” නමැති ග්‍රන්ථය සිංහලයට පරිවර්ථනය කර ඇත්තේ “අවලස්සන ඇමෙරිකානුවා” යන නමිනි. ඇමෙරිකාව වියට්නාම යුද්ධයට පැටලී සිටි කාලයේ 1958 දී ප්‍රකාශයට පත්කරන ලද මේ නවකතාවෙන් ඇමෙරිකානු ඔත්තු සේවාවන්, ඇමෙරිකාව රටවලට අත පොවන ආකාරය සහ සෝවියට් දේශය සමඟ පැවැති සීතල යුද්ධයේ දී ඇමෙරිකානුවන් කටයුතු කරන ආකාරය විග්‍රහ කෙරෙයි. මේ නිසාම මෙම පොත ලෝකය පුරාම වේගයෙන් ජනප්‍රිය විය.

එම ග්‍රන්ථයේ ප්‍රබන්ධ කර ඇති මනංකල්පිත රටක් වෙයි. සර්කාන් නමින් ඒ ප්‍රබන්ධ රට නම්කර ඇත. සර්කාන්හි වැඩි කොටසක, කාම්බෝජය, වියට්නාමය, හොංකොං සහ බුරුමය රවටල විනෝද චාරිකා සමඟ මෙහි කතාව දිග හැරෙයි. ඇමෙරිකාව සහ සෝවියට් දේශය අතර පැවැති සීතල යුද්ධයේ දී ලෝකයේ ආධිපත්‍යය සඳහා කරන අරගල, බලගතු සහ හොඳින් සංවිධානය වූ සෝවියට් සංගමයේ ආධිපත්‍යය සමඟ අරගල කරන සර්කාන් රාජ්‍යය මිලියන 20ක පමණ ජනගහණයක් ජීවත් වන රටක් ලෙස ඉදිරිපත් කර තිබේ. 

සුපිරි බලවතුන් දෙදෙනාගෙන් ම වෙන්ව ස්වාධීනව සිටීමට උත්සාහ ගන්නා සර්කාන් වෙත බලවතුන් දෙදෙනාගෙන් ම ආධාර ලැබේ. කතුවරුන් දෙදෙනා පැහැදිලි කරන පරිදි එක්සත් ජනපදයේ ආධාරා සර්කන් ජනතාවගේ අවශ්‍යතා සපුරන්නේ නැත. එපමණක් නොව සර්කාන් ඇතුළුව අග්නිදිග ආසියාව පුරා සේවය කරන ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට බොහෝ දුරට රටේ භාෂාව හෝ සංස්කෘතිය පිළිබඳ දැනුමක් නොමැති බැවින් ජනතාව තම පාර්ශවය වෙතට දිනා ගැනීමට ඔවුන්ට ඵලදායී දෙයක් කළ නොහැකි වෙයි.

නමුත්, සෝවියට් සංගමය ඊට හාත්පසින්ම වෙනස්ය. එම රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඉතාමත් හොඳින් පුහුණු වී සිටිති. වෙනස් උපායමාර්ග අනුගමනය කරති.

මෙම “The Ugly American” ග්‍රන්ථය ඇමෙරිකාවේ ඉතාමත් වේගනේ අළෙවි වූ අතර එවකට පැවැති ඇමෙරිකානු දේශපාලනයට මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයට ද විශාල බලපෑමක් කළ ග්‍රන්ථයක් ලෙස සැළකේ. එය එවකට ජනාධිපිත ඩ්වයිට් අයිසන්හවර් සහ බොහෝ එක්සත් ජනපද සෙනට් සභිකයන් විසින් කියවන ලදී. කොමියුනිස්ට්වාදයට එරෙහිව නිදහස ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය සිය කැපවීම නැවත තහවුරු කර හැඩගස්වන වාතාවවරණයක් නිර්මාණය කිරීමට මෙම පොත විශාල හේතුවක් වී තිබිණි. එම ග්‍රන්ථය 1958 දී ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඇතිවූ ප්‍රතිසංස්කරණය 1961 සිට 1963 දක්වා ජෝන් එෆ්. කෙනඩිගේ ජනාධිපති ධූර කාලයේ දී වඩාත් ම කැපී පෙණිනි. ඔහු දකුණු වියට්නාමයේ කොමියුනිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමේ නව ක්‍රමවේද පෝෂණය කළේය. එක්සත් ජනපදයේ විශේෂ හමුදා ඒකක දියුණු කළේය. එපමණක් නොව සාම හමුදාවක් ආරම්භ කළේය.

මෙම කතාව ආරම්භ වන්නේ ආසියාතික ප්‍රබන්ධ රටක්වන සර්කන් හි සිටින එක්සත් ජනපද තානාපති ලුවී සියර්සේගේ කාර්යාලයෙනි. ඔහුට එරෙහි කාටූනයක් දේශීය පුවත්පතක පළවීම නිසා සියසර් බෙහෙවින් කලබල වී සිටියි. මේ අතර ජෝන් කොල්වින් නමැති ඇමෙරිකානු ජාතිකයෙක් පහරදීමට ලක්ව රෝහල්ගතව සිටියි. කොල්වින් සර්කානිවරුන්ට කිරි සහ එහි අතුරු නිෂ්පාදන භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීමට උපකාර කිරීමට උත්සාහ කර තිබිණි. ඔහු එරට අගනුවන වන හයිඩෝ නගරයෙන් පිටත කිරි බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවූයේය. නමුත් ඔුව පාවාදෙන්නේ කොමියුනිස්ට්වාදියකු වූ ඩියොං නම් පැරණි මිතුරෙකි. කොල්වින් සර්කානිස් ගැහණු ළමයින් වෂී කරගන්නා ඖෂධයක් කිරිවලට එක්කිරීමට උත්සාහ ගන්නා බව ඩියෝං සර්කාස් කාන්තාවන් පිරිසකට කියයි. කොල්වින එය ප්‍රතික්ෂේප කළ ද කාන්තාවෝ එක්ව ඔහුට පහරදුන්හ.

තානාපතිවරයා සර්කානිස් රජයේ ප්‍රධානිය වන එන්ගොං කුමරුට කාටූනය ගැන පැමිණිලි කරයි එක්සත් ජනපදයෙන් ලැබීමට ඇති ණයක් අනතුරේ විය හැකියැයි එන්ගොං කුමරු බිය වෙයි. වහාම සියර්ස් ගැන චාටු කතා, කාටූනයක් මෙන් ම කතුවැකියක් ද පළකරන ලෙස කුමරු පුවත්පතට උපදෙස් දෙයි.

තානාපති සියර්සට රුසියානු සහකරු ලුවී කෘපිට්සින් සිටියි. සර්කානීස් කියවීමට හා ලිවීමට හැකි ඔහු එරට සංස්කෘතිය තේරුම් ගත් අයෙකි. සාගතයක දී ඇමෙරිකාවන් සහල් ටොන් 14,000ක් එවන අතර කෘපිට්සින් කරන්නේ මේ සෙහල් රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස මුද්‍රණය කරවයි.

ඇමෙරිකාව විසින් බුරුමයට අනුයුක්ත කර ඇත්තේ කතෝලික පූජක වරයෙකි. දරුණු කොමියුනිස්ට් විරෝධීන් ඔහු තමන් වටා ඒකරාශී කරගනී. එමෙන්ම කොමියුනිස්ට් විරෝධී පුවත්පතක් ද ආරම්භ කරයි. රුසියානුවන් විසින් බුරුමයේ ගොවීන් ගැන පවසන දේ රහසිගතව පටිගත කර ඒවා ප්‍රසිද්ධ කරමින් දේශීය ජනතාව දිනා ගනී.

එමෙන් ම සර්කියාහි සුන්දරත්වය සහ තරුණ ඇමෙරිකානුවකු ව මාරි මැකින්ටොෂ් මගින් පැහැදිලි කරමින් ඇය ගත කරනරන සුන්දර හා සුඛෝපභෝගී ජිවිතය ගැන විස්තර කරයි. මීට අමරතව එක්සත් ජනපද හමුදාම චරිත, වෙනත් රාජ්‍ය තාන්ත්‍රිකයන්, වෘත්තීය නිලධාරීන්, සංචාරකයන් ආදී සියලු චරිත යොදා ගනිමින් ඇමෙරිකාවේ අත පෙවීම් පිළිබඳ කතුවරුන් දෙදෙනා මේ ග්‍රන්ථයෙන් මනාව පිළිබිඹු කරයි.

මෙම නවකතාවේ මාතෘකාව වන “අවලස්සන ඇමෙරිකානුවා” යන්න යෙදී ඇත්තේ එහි ප්‍රධාන චරිකයක් වන හෝමර් ඇට්කින්ස් චරිතයෙනි. ඔහු ශාරීරික පෙනුවෙන් කැත අයෙකි. දැඩි සහ මෘග්ධ ගතා කියන මිනිසෙකි. විශ්‍රාමික ඉංජිනේරුවෙකි. අග්නිදිග ආසියාවේ වේලි සහ මිලිටරි මාර්ග ඉදිකිරීම ගැන ඇමෙරිකා එක්සත් ජනපදය ඔහුගෙන් උපදෙස් ගනී. නමුත් ඔහු අවධාරණය කරන්නේ ඇත්ත වශයේන ම අවශ්‍ය වන්නේ දේශීය ජනතාවට තමන් විසින් ම නිෂ්පාදනය කර භාවිතා කළ හැකි දේවල් බවයි. ඔහුගේ උපදෙස් නොසළකා හරින නමුත් තානාපති මැක්වයිට් ඔහු ගැන පැහැ දී ඔහුට සර්කාන් වෙත ආරාධනා කරයි. එම රටේ ඇට්කින්ස්, ජීපෝ නම් සර්කානිස් මිනිසකු සමඟ සහයෝගයෙන් ප්‍රදේශයේ මිනිසුන්ට විශාල ශ්‍රමය ඉතිරිකළ හැකි පරිදි ජල පොම්පයක් නිර්මාණය කරයි. ඔහුගේ ව්‍යවසාය ඉතාමත් සාර්ථක වෙයි.

නවකතාව පුරාම අග්නිදිග ආසියාවේ කොමියුනිස්ට්වාදය පරාජය කිරීමට ඇමෙරිකාව දරන උත්සාහය අසාර්ථකවන ආකාරයත් එය සාර්ථක කරගැනීමට අනුගමනය කළ යුතු විකල්ප ක්‍රමවේදයනුත් පැහැදිළි කරයි. ජනතාවගේ සැබෑ අවශ්‍යතා පොතේ ඇති සෑම කතාවකින් ම සහ චරිතයකින් ම පෙන්වා දෙයි. නිරන්තරව ම ගැටුමට හේතුව ‍‍හෝ විසඳුම ලබාදීම හෝ කරන්නේ ඇමෙරිකානුවෙකු විසිනි.

“අවලස්සන ඇමෙරිකානුවා” යනු අසාමාන්‍ය නවතාකවක් වන අතර එහි විවිධ කාථාංග අතර සම්බන්ධයක් පවතී. එක්සත් ජනපදයේ හැසිරීමේ ප්‍රතිපත්තිවල මෝඩකම් හෝ ධනාත්මක විකල්ප මේ කතාවෙන් නිරූපනය කරයි.

එය මහජනතාව විසින් වේගයෙන් වැළඳ ගත් ග්‍රන්ථයකි. සති 78 දී ලොව පුරා වැඩියෙන් ම අළෙවි වූ පොත් ලේඛනයේ ඇති එහි පිටපත් මිලියන 04ක් අළෙවි වී තිබේ.

පොතේ කතුවරුන්,

විලියම් ජේ ලෙඩරේර්

1912 මාර්තු 31 වැනි දින නිව්යෝර්ක් නගරයේ විලියම් ජුලියස් සහ පෝල් ලෙඩරේර් ගේ පුත්‍රයා ලෙස උපත ලැබුවේය. ඔහු එක්සත් ජනපද නාවික පුහුණුආයතයට ඇතුළත් ව 1936 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධියක් ලැබුවේය. 1930 සිට 1958 දක්වා නාවික හමුදාවේ සේවය කළ ඔහු කපිතාන්වරයකු ලෙස විශ්‍රාම ලැබුවේය.  දෙවැනි ලෝක යුද්ධයේ දී ආසියාවේ සහ අත්ලාන්තික් කලාපයේ සේවය කළ ඔහු 1950 සිට 1958 දක්වා පැසිෆික් කලාපයේ සේනාධිනායකයාගේ විශේෂ සහකාරවරයා ලෙස ද කටයුතු කර අත්දැකීම් තිබිණි. විශ්‍රාම ගැනීමෙන් පසු පුවත්පත් කලාවට පිවිසි හෙතෙම 1958 සිට 1963 දක්වා රීඩර්ස් ඩයිජෙස්ට් හි පෙරදිග වාර්තාකරු ලෙස කටයුතු කළේය.

විවිධ මාතෘකා යටතේ නවකතා, කෙටිකතා සහ ප්‍රබන්ධ නොවන පොත් ඇතුළු ග්‍රන්ථ රැසක් ලියා ඇති ඔහුගේ හොඳම කෘතිය ලෙස සැළකෙන්නේ “The Ugly American” නමැති මෙම ග්‍රන්ථයයි.

1940 දී එතල් වික්ටෝරියා හැකෙට් සමඟ විවාහ වී සිටි ඔහු 1965 දී ඇගෙන් වෙන් වී කොරීන් එඩ්වඩ් ලෙවිස් සමඟ එම වර්ශයේ දී ම විවාහ වූයේය. 1976 දී ඇගෙන් ද දික්කසා ද වූ ලෙඩර්ට පුතුන් දෙදෙනෙකි.

2009 දෙසැම්බර් 05 වැනි දා ඔහු මියගියේය.

ඉයුජින් බර්ඩික්

1918 දෙසැම්බර් මස 12 වැනි දින අයෝවා හි ෂෙල්ඩන් ප්‍රදේශයේ උපත ලැබුවේය. චිත්‍ර ශිල්පියකු වන ජැක් ඩේල් සහ මාරි එල්ලබ්‍රොක් දෙදෙනාගේ පුත්‍රයාය. ස්ටෑන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙන් 1942 වර්ෂයේ දී ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් ඔහු දෙවැනි ලෝක යුද්ධයේ දී එක්සත් ජනපද නාවික හමුදාවේ සේවය කර ලුතිනන් කමාන්ඩර් තනතුරට පත්වූයේය. යුද්ධයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගිය ඔහු 1950 වර්ෂයේ දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාරය උපාධියක් ද හිමිකරගත්තේය.

1950 සිට 1965 වර්ෂය දක්වා බර්ක්ලි හි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ දේශපාලන න්‍යාය පිළිබඳ සහකාර මහාචාර්යවරයකු සහ මහාචාර්යවරයකු ලෙස ද ඔහු කටයුතු කළේය. පර්යේෂණාත්මක ලේඛනවලට අමතරව චිත්‍රපට පිටපත් සහ නවකතා ලිවීමට ද යොමුවූ ඔහු විසින් ලින ලද “The Ugly American” කෘතිය ලෝකයේ වඩාත්ම ජනප්‍රියවූ ඔහු විසින් රචනා කරන නවකතාව ලෙස සැළකේ.

1942 දී කැරොල් වොරන් සමඟ විවාහ වූ බර්ඩික් හට දරුවන් ‍තිදෙනෙකි. 1965 ජූලි 26 දින ඔහු මියගියේය.

පොතේ ජනප්‍රියත්වයට එක් හේතුවෙක් වූයේ එහි සෘජුව ඇමෙරිකානු නම ඈදී තිබීමයි. අවලස්සන ඇමෙරිකානුවා එහෙත් නැතිනම් කැත ඇමෙරිකානුව යන්න ඉක්මණින් ම පොදු ව්‍යවහාරයට පැමිණි අතර විදේශගතව සිටින විට තමා සිටි සංස්කෘතියට නොතේරෙන හෝ ගරු නොකළ ජනවාර්ගික ඇස්වලින් සියල්ල දුටු එක්තරා අහංකාර ඇමරිකානුවෙක් වෙත මෙය යොමුව තිබිණි.

මෙම නවකතාව පාදක කරගනිමින් චිත්‍රවට ගණනාවක් නිර්මාණය වී ඇති අතර එනමින් පරිගණක ක්‍රීඩා පවා නිර්මාණය කර තිබේ. එබැවින් අවලස්සන ඇමෙරිකානුවා යන නම ලෝකය පුරා අඛණ්ඩව ප්‍රසිද්ධ භාවිතයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!