-2.1 C
New York

“බැසිල් පාර්ලිමේන්තු එන්නේ නෑ. මුදල් ඇමති ප්‍රකාශයක් කළ යුතුයි” විපක්ෂයෙන් චෝදනා

Published:

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත්, ඔහු ගැන සෙවූ විට පැමිණ පෙනිලා යන බවටත් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (11) පාර්ලිමේන්තුවේ දී චෝදනා කළහ.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේ ‍රටේ මේ තරම් මුදල් අර්බුදයක් තිබිය දී මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට නොපැමිණීම ගැටලුවක් බවයි. අද දිනයේ ද ඔහු පාර්ලිමේන්තුවේ නැති බවත් ඊයේ ඔහු ගැන විමසූ විට සවස පෙනිලා යාමට පැමිණි බවත් නමුත් රටේ දැනට ඇති අර්බුදය ගැන කිසිවක් නොකීම ගැටලුවක් බවත් හෙතෙම කීවේය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ද එහි දී කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයක් උද්ගත වී තිබිය දී ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කිරීම, ප්‍රකාශයක් ලබාදීම මුදල් අමාත්‍යවරයාගේ වගකීම බවයි. ඔහු දැකීමට නොව මේ තත්වය පිළිබඳ පාර්ලිමේන්තුවට පැහැදිළි කිරීමක් අවශ්‍ය බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කීවේය. එබැවින් රටේ මූල්‍ය තත්වය සහ ආර්ථික අර්බුදය ගැන විශේෂ ප්‍රකාශයක් කරන ලෙස මුදල් අමාත්‍යවරයාට නියෝග කරන්න යැයි ද අනුර කුමාර දිසානායක කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

එහි දී කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයාට නියෝග නිකුත් කිරීමට තමන්ට නොහැකි බවයි.

මෙහි දී අදහස් දැක්වූ සභානායක දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ඉන්ධන ප්‍රශ්නය අපට පමණක් බලපා ඇති ගැටලුවක් නොවන බැවින් ඇමෙරිකාවේ ද මේ වනවිට ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන බැවින් ඒ ගැන ද රුසියාවේ ඉන්ධන මිල අඩුවීම පිළිබඳව ද කතා කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලන්නේ නම් එය ලබාදිය හැකි බව ද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img