කරාපිටිය 58 වාට්ටුවේ ආසාදිතයෙක් ඉඳලා. කාර්ය මණ්ඩල නොසන්සුන්

0
3461

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවකුගේ පියා කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීමත් සමඟ අදාල අංශයේ කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමුකර වාට්ටුව විෂබීජහරණය කළ යුතු වුව ද එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට රෝහල් පරිපාලනය කටයුතු නොකිරීම හේතුවෙන් ගැටලු කාරී තත්ත්වයක් මතුව තිබේ.

පසුගිය බදාදා හදිසි අනතුරකට ලක්වූ රත්ගම ප්‍රදේශයේ 15 හැවිරිදි පිරිමි ළමයකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි. ඔහු වාට්ටු අංක 58 හි ප්‍රතිකාර ලබමින් සිටි අතර එදින වාට්ටුවේ කටයුතු සිදුකර ඇත්තේ මහාචාර්ය ඒකකයේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය විසිනි.

මෙම දරුවා අසළ සිටි ඔහුගේ පියා හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළීම හේතුවෙන් ඔහු පීසීආර් පරීක්ෂණයකට යොමු කර ඇත. රෝගී දරුවා පසුව සුවය ලබා රෝහලින් නික්ම ගිය අතර අද (24) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවෙන් කියැවුණේ එම පියා කොරෝනා ආසාදිතයකු බවයි.

මේ සමග 58 වාට්ටුවේ මෙන් ම එදින රෝගීන් ඇතුළත් කිරීම ඇතුළු වාට්ටු කාර්යයන් භාරව සිටි මහාචාර්ය ඒ්කකයේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය ද බරපතල ගැටලුවකට මුහුණ දී සිටිති.

ඔවුහු දිගින් දිගටම රෝහල් අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධයක්ෂවරියන් ඇතුළු රෝහල් බලධාරීන්ගෙන් තමන්ට පීසීආර් පරීක්ෂණ සිදුකර නිරෝධායනය සඳහා අවස්ථාව සළසා දෙන ලෙස ඉල්ලීම් කළ ද රෝහල් බලධාරන්ගේ අදහස වී ඇත්තේ එවැනි අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ පිළිබඳ අප සමඟ අදහස් දැක්වූ කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු මෙ‌සේ කියා සිටියේය.

“ අපේ වෛද්‍යවරයෙක් කියනවා ඔහු සෘජුවම මේ තාත්තාටත්, පුතාටත් දෙදෙනාටම නිරාවරණය වූ බව. ඔහු තමන්ට නිරෝධායනය වෙන්න අවශ්‍යයැයි ඉල්ලා සිටියා. ඒ වගේම පීසීආර් පරීක්ෂණයක් ඉල්ලා සිටියා. නමුත් තවමත් රෝහලේ බලධාරීන් ඊට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. අපේ අදහසනම් මේ පුතාගේ පවා පීසීආර් කළ යුතුයි. තාත්තා රෝහලේ රැඳී සිටි කාලයේ වාට්ටුවේ සිටි රෝගීන්ගැන පවා අවධානය යොමු කළ යුතුයි. එය සෞඛ්‍ය අංශයේ වගකීමක්.”

මේ පිළිබඳ කරාපිටිය රෝහලේ හෙදියක් අදහස් දක්වමින් මෙසේ කීවාය.

“ අපි ජීවිත පරදුවට තියලා වැඩ කරනවා. නමුත් අපි ගැන පොඩ්ඩක්වත් සැළකිලිමත් වෙන්නේ නැහැ. අපිට තීරණයක් ගන්න වෙනවා. මේ විදියට දිගින් දිගටම සිදුවෙනවා නම් අපිට සාමාන්‍ය රාජකාරී කරගෙන යන්න බැරි වෙනවා.”

කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය පවසන්නේ රෝහලට ඇතුළත් වී සිටි දරුවාගේ පීසීආර් පරීක්ෂණයක් ද මෙතෙක් සිදුකර නොමැති බවයි.

රෝහල් කාර්ය මණ්ඩලය පවසන්නේ මේ වනවිට රෝහල් අධ්‍යක්ෂ වරයා කිසිදු දුරකථනයකට පිළිතුරු නොදෙන බවයි.

මෙම කරුණ සම්න්ධයෙන් තොරතුරු විමසීම සඳහා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා ඇමතීමට උත්සාහ දැරුව ද එය සාර්ථක වූයේ නැත. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියන් දෙදෙනා ද සම්බන්ධ කරගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ වූ බැවින් මෙම කරුණු පිළිබඳ රෝහලේ පරිපාලනයට කිසියම් පැහැදිලි කිරීමක් ඇත්නම් එය [email protected] ලිපිනයට යොමු කරන මෙන් ඉල්ලමි. එවැනි කරුණු පැහැදිලි කිරීමක් වෙත්නම් එය ද මෙම පුවතට ලබාදෙන ප්‍රමුඛත්වය ලබාදෙමින් පළකරන බව ද දන්වමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here