spot_img
spot_imgspot_img

මැතිනියගේ ජීවිත කතාව, ඡායාරූපමය පොතකින් ප්‍රකාශයට පත්කරයි

පුවත්

විදෙස්

රටක අග්‍රාමාත්‍යධූරයට පත් වූ ලොව ප්‍රථම කාන්තාව වූ සිරිමා බණ්ඩාරනාකගේ ජීවිතයේ සහ දිර්ඝ දේශපාලන සේවයේ මතක සටහන් ඇතුළත් දුර්ලභ ඡායාරූප රැසක් අඩංගු SIRIMAVO: Steering the Destiny of a Nation නම් ඡායාරූපමය චරිතාපදානය  (coffee table book) ඊයේ (08) ලෝක කාන්තා දිනයට සමගාමීව නිකුත් කෙරිණි.

මෙම කෘතිය මගින් ජාතික සහ ජාත්‍යන්තර ක්ෂේත්‍රයන්හි නව මංපෙත් දැල්වූ රාජ්‍ය නායිකාවගේ අසාමාන්‍ය චරිත කතාව නැවුම් ආකෘතියක් ඔස්සේ ඉදිරිපත් කරයි. බණ්ඩාරනායක කෞතුකාගාරය, ජාතික ලේඛනාරක්ෂණ දෙපාරතමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ලේඛනාගාරය ඇතුළු විවිධ ආයතනවලින් ලබා ගත් ඓතිහාසික වටිනාකමක් ඇති ඡායාරූප 300කට ආසන්න ප්‍රමාණයක් මෙම ග්‍රන්ථයෙහි අනත්ර්ගත කර ඇත. බොහෝ ඡායාරූප මීට පෙර කිසිදා ප්‍රසිද්ධියට පත්ව නොතිබීම ද විශේෂත්වයකි.

ඡායාරූප වලට මුල් තැන දෙමින්, ඒවායේ සන්දර්භය සැකෙවින් විස්තර කරන පෙළ සටහන් ද එහි ඇතුළත්ය.

ඇය මුහුණ දුන් දේශීය අභියෝග අතර 1962 ජනවාරියේ අසාර්ථකව වූ හමුදා කුමන්ත්‍රණය, 1971 අප්‍රේල් සන්නද්ධ තරුණ නැගිටීම සහ 1970 දශකය මුල දී ගෝලීය ඉන්ධන සහ ආහාර අර්බුද මුල් තැන ගනියි. ශ්‍රී ලංකාවේ විදෙස් සබඳතා අභිමානවත් වූ යුගයක් පිළිබඳව විදේශීය ඡායාරූප රාශියක් සාක්ෂි දරයි. සීතල යුද්ධයේ උච්චතම අවධියේ ඇමරිකානු සහ සෝවියට් බල කඳවුරු දෙක සමගම සබඳතා තුලනය කර ගත් බණ්ඩාරනායක අගමැතිනිය, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ලෙසද වසර 12ක් කෘතහස්තව සේවය කළ අයුරු ඡායාරූපවලින් නිරූපණය වෙයි.

SIRIMAVO: Steering the Destiny of a Nation ග්‍රන්ථයේ පෙරවදන ලියා ඇත්තේ බණ්ඩාරනායක අමැතිනියගේ දෙවන ධූර කාලයේ අගමැති ලේකම් ලෙස කටයුතු කළ විශ්‍රාමික පරිපාලන නිලධාරී එම් ඩී ඩී පීරිස් විසිනි. ඇය කරන ලද වැදගත් ප්‍රකාශ 22ක් ද, ඇය සමඟ වැඩ කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්, ස්වාධීන විද්වතුන් සහ විදේශීය මාධ්‍යවේදීන් ඇතුළු ඇයගේ සමීපතමයින්ගේ ප්‍රකාශ 21ක් ද කෘතියේ අඩංගු වේ.

සිය සැමියාගේ ඝාතනයෙන් ටික කලකට පසු මැතිවරණ දේශපාලනයට පිවිසි බණ්ඩාරනායක මැතිනිය තෙවරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්ව කටයුතු කළාය (1960-1965; 1970-1977; සහ 1994-2000). ඇයගේ පළමු සහ දෙවන ධූර කාලය තුළ සමගාමීව ආරක්ෂක අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ද වූවාය. පාර්ලිමේන්තු දෙකකදී (1965-1970 සහ 1989-1994) විපක්ෂ නායිකාව වූවාය.

මෙම දුර්භ ඡායාරූප රාශියක් සංරක්ෂණය කර සම්පාදනය කරන ලද්දේ ප්‍රවීන ඡායාරූප ශිල්පී සරත් පෙරේරා විසිනි. පෙළ සහ ඡායාරූප සටහන් ලේඛක නාලක ගුණවර්ධන විසින් ලියා ඇත. මෙම කෘතියේ දෘශ්‍ය  සංකල්පනය හා මුද්‍රණ අලංකරණය ඩබ්ලිව් එම් කේ විජයබණ්ඩාර විසින් සිදු කළ අතර, සුනේත්‍රා බණ්ඩාරනායකගේ මග පෙන්වීම යටතේ මෙය සම්බන්ධීරණය කරන ලද්දේ ජාත්‍යන්තර සබඳතා සඳහා බණ්ඩාරනායක කේන්ද්‍රයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් කබ්රාල් විසිනි.

SIRIMAVO: Steering the Destiny of a Nation කෘතිය පිටු 444කින් සමන්විත වන අතර ඝණ කවරයක් ද සහිතය.  එය බණ්ඩාරනායක කෞතුකාගාර කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇත. සීමිත සංස්කරණයේ මිල රුපියල් 3,000ක් වන අතර එය බෙදා හරිනු ලබන්නේ සරසවි පොත්හල විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!