-5.2 C
New York

ඩොලරයට සාපේක්ෂව රුපියල 230ක් දක්වා අවප්‍රමාණ කරයි

Published:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ කර ඇත. මහ බැංකුව ප්‍රකාශ කරන්නේ ඒ අනුව විදේශ විනිමය අනුපාතිකය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230.00ක් බවයි.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ වැඩි සාර්ව ආර්ථික ස්ථායීතාවයකට සහාය වීම සඳහා ප්‍රතිපත්ති පැකේජයකට අනුව විනිමය අනුපාතිකයේ නම්‍යශීලීභාවයට ඉඩ දුන් බවයි.

මාස කිහිපයක් ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලරයට රුපියල් 200.00ක සීමාවේ විනිමය අනුපාතිකය කෘතිමව රඳවාගෙන සිටිය ද එම අනුපාතයට ගනුදෙනු කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබිණි. නීත්‍යානුකූළ නොවන ගනුදෙනුවල දී ඩොලරයක් සඳහා රුපියල් 250.00ට ආසන්න මුදලක් ගෙවනු ලැබිණි.

මේ හේතුවෙන් පසුගිය මාස 08ක පමණ කාලයක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට මුදල් එවීම විශාල වශයෙන් අඩුකර තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 230.00ක් ලෙස ප්‍රකාශයට පත්කළ ද ආර්ථික විශේෂඥයන් පවසන්නේ එය රුපියල් 250.00ක ආසන්න අගයක පවතින බවයි.

රුපියලේ අගය කෘතිමව පාලනය කිරීම ශ්‍රී ලංකාවේ දැනට ඇති ආර්ථික අර්බුධයට එක් හේතුවක් බව ද ජාත්‍යත්නර මූල්‍ය අරමුදල පසුගිය දා පෙන්වා දී තිබිණි.

Related articles

Recent articles

spot_img