ගාල්ලේ කාන්තාවන් සිය ගණනක් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගත් පුද්ගලයකුගේ ජංගම දුරකථනයක් rata.lk වෙත ලැබිණි.
මේ වනවිට එම දුරකථනය පොලිසිය භාරයට පත්කර ඇති අතර පොලිසිය ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම ජංගම දුරකථනයේ හිමිකරු ගාල්ල අධිවේගී මාර්ග පිවිසුමක් ආසන්නයේ පදිංචි කාර්මික ශිල්පියෙකි. වායුසමන යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ අලුත්වැඩියාකරන්කු යැයි පවසන ඔහු facebook ගිනුම් කිහිපයක් ම පවත්වාගෙන යයි.
එම facebook ගිනුම් භාවිතා කරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබූ ඉංජිනේරුවකු ලෙසත්, වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍යවරයකු ලෙසත් පෙනී සිටින ඔහු තමන් රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු ලෙස ද පවසයි. නමුත් ඔහු රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු නොවන බව අප කළ විමර්ශනවල දී තහවුරු විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා නොමැති ඔහු තවත් සමාජ මාධ්‍ය ගිනුමක සඳහන් කර ඇත්තේ තමන් Mas Holdings ආයතනයේ සේවය කරන බවයි. යුනිචෙලා ආයතනයේ සේවය කරන බව ද තවත් ගිනුමක සඳහන් කර ඇත.
විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ සේවා සපයන ආයතනයක් පවත්වාගෙන යන ඔහු තම සේවා ලබාගන්නා නිවෙස්වලට ගොස් කාන්තාවන් සමඟ මිතුරු වී ඔවුන් සමඟ දිගින් දිගටම අදහස් හුවමාරු කරගෙන තමන් විවාහ වී දියණියක සිටින බවත්, බිරිඳ හදිසියේ ම මියගොස් ඇති බවත් පවසා කාන්තාවන්ගේ අනුකම්පාව දිනා ගැනීමට කටයුතු කර තිබේ.
නමුත් ඔහු අවිවාහකයෙකි.
අවිවාහක තරුණියන්ට කේන්දර පිටපත් පවා යවමින් විවාහය සඳහා පොරොන්දු දී රවටා ඇති බව ද අනාවරණය වී ඇත.
එලෙස කාන්තාවන්ගේ අනුකම්පාව දිනාගන්නා ඔහු එම කාන්තාවන් ලිංගික කාර්යයන් සඳහා පොළඹවාගෙන ඇති අතර කාන්තාවන් සමඟ WhatsApp, Messenger ඔස්සේ වීඩියෝ කෝල්ස් ගනිමින් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැසක් ඔහුගේ ජංගම දුරකථනයේ පටිගත කරගෙන ඇත.
ඔහු සමඟ facebook, WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරු කරගත් කාන්තාවන් අතර බාලවයස්කාර දැරියන්ගේ සිට වයස අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටි කාන්තාවන් ද සිටින අතර වෛද්‍යවරියන්, ඉංජිනේරුවරියන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරිනියන්, පළාත් පාලන ආයතන නිලධාරිනියන්, හෙදියන්, ගුරුවරු සහ පරිපාලන සේවා නිලධාරිනියන් ද ගෘහණියන් රැසක් ද ඔහුගේ ගොදුරු බවට පත්ව සිටිති.
සෑම දිනකම බුදුන් වැඳ තම කාර්යයන් ආරම්භ කරන බව පවසන ඔහු දුප්පත් දරුවන්ට විවිධ උදව් උපකාර කරන බව ද අඟවමින් කටයුතු කරයි.
එමෙන් ම ඔහු තම ෆේස්බුක් ගිනුමේ සඳහන් කරන්නේ තමන් ආණ්ඩුපක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ සමඟ සිටින බවයි. නමුත් ඔහු සහ අමාත්‍යවරයා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව තතු දන්නෝ කියති. ඔහු ඇමතිවරයාගේ සම්බන්ධතා ඇති බව පවසමින් විවිධ අකටයුතුකම්වල යෙදෙන බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මොහු අවස්ථා ගණනාවක දී ම ප්‍රදේශවාසීන්ගේ පහරදීම්වලට ලක්වූ බව ද ඔහුගේ ජංගම දුරකථනය පිරික්සීමේ දී ඇති සටහන් සහ හුවමාරුකරගෙන ඇති පණිවිඩ අනුව තහවරු වෙයි.
මෙම ජංගම දුරකථනය අපගේ වෙබ් අඩවිය වෙත යොමු කර තිබුණේ අප නොදන්නා පාඨකයකු විසිනි. ඔහු ලිපියක් ද සමඟ එය අප වෙත එවා තිබූ අතර එමගින් ඉල්ලා තිබුණේ මේ සම්බන්ධයෙන් සුදුසු නීතිමය පියවරක් ගන්නා ලෙසයි.
(එම ලිපිය පහතින් පළකර ඇත)
ඒ අනුව මෙම පුද්ගලයා පිළිබඳ සොයා බැලීමේ දී අපට අනාවරණය වූයේ ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශයෙන් හා අක්මීමණ පොලිසියෙන් මෙම පුද්ගලයාට එරෙහිව කාන්තා අපයෝජනය සම්බන්ධ පැමිණිලි දෙකකට ඔහු දැඩි ඇප කොන්දේසි මත සිටින බවයි.
මේ සම්බන්ධයෙන් අප ගාල්ල කාන්තා සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.කේ.ආර්.දමයන්ති සමඟ සාකච්ඡා කළ විට ඇය කියා සිටියේ ජංගම දුරකථනය පොලිසිය භාරයට පත්කරන ලෙසයි.
ඒ අනුව අප විසින් එම ජංගම දුරකථනය මේ වනවිට පොලිසිය භාරයට පත්කර තිබේ.







