ස්ටෙප්ස් තෘණ භූමි හරහා පැමිණි සංක්‍රමණිකයන්, කළු මුහුද ඔස්සේ පැමිණි වෙළෙඳුන්, වයිකිංවරුන්, නිපර් ගංඟාව ඔස්සේ සංක්‍රමණ්‍ය වූ පිරිස්වලින් ජනාවාස වූ යුක්රේනය පසුකාලයක “කීවන් රුස්” ප්‍රදේශය ලෙස හඳුන්වන ලදී.
නැගෙනයහිර රෝම අධිරාජ්‍යයෙන් පැමිණි සංක්‍රමණිකයන් හේතුවෙන් ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත වූ මෙම ප්‍රදේශය 13 වැනි සියවසේ දී මෝගල් අධිරාජ්‍යයට අයත් ප්‍රදේශයක් බවට පත්ව තිබිණි. පසුව ක්‍රිස්තු වර්ෂ 1300 දී පමණ මෝගල් අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසු කීවන් රුස් ප්‍රදේශය සහ ලිතුවේනියාව එක්කර “රූතිනියාව” නම් රාජ්‍යයක් බිහිවී රාජාණ්ඩු ක්‍රමයකින් පාලනය විය.
1917 වන විට රුසියන්-ජපන් ගැටුමත්, පළමු ලෝක සංග්‍රාමයත් හේතුවෙන් රුසියානු අධිරාජ්‍යය ක්‍රමයෙන් අඩපණ වෙමින් පැවතිණි. 1918 ජනවාරි මස 16 දින යුක්‍රේනය සිය නිදහස පළමු වරට ප්‍රකාශ කළ නමුත් එය ඉක්මන් සිවිල් අරගලයකට හේතු විය.
මේ සමගම සෝවියට් දේශයේ රතු හමුදාව යුක්‍රේනයේ විශාල කොටසක බලය අත්පත් කර ගත් අතර පෝලන්තය තවත් කොටසක් අල්ලා ගන්නා ලදී. ඒ අනුව යුක්රේනයට සිය ස්වාධීනත්වය අහිමිවිය. 1922 දෙසැම්බර් මස 30 යුක්‍රේනයේ සෝවියට් පාලනයට නතු වූ කොටස සෝවියට් ඒකකයක් බවට පත් කළේය.
කෙසේ නමුත් 20 වැනි සියවස අගභාගයේ අඩපණ වූ සෝවියට් සංගමය හා හමුදා කුමන්ත්‍රණ මැද දුර්වල වූ රුසියාවෙන් වෙන් වූ යුක්‍රේනය 1991 අගෝස්තු 24 දින නැවත තම ස්වාධීනත්වය ප්‍රකාශයට පත්කළේය. ඒ වන විට යුක්‍රේනය තවදුරටත් තමන් යටතේ පවත්වාගෙන යාමට රුසියාවට හැකියාවක් තිබුණේ නැත.
ගල් අඟුරු, ස්වභාවික ගෑස්, මැංගනීස්, ටයිටේනියම්, නිකල්, රසදිය, සල්ෆර්, යකඩ වැනි ස්වභාවික සම්පත්වලින් බහුල යුක්රේනය බලවත් රාජ්‍යයන්ගේ අවධානයට ලක්වූ ප්‍රදේශයකි.
දැනට ආරම්භ වී ඇති රුසියානු-යුක්‍රේන ගැටුම් කෙරෙහි මෙම තත්ත්වය ඍජුවම බලපාන අතර අද පවතින යුදමය පසුබිම වර්තමානයට පමණක් සීමා වූවක් නොවේ. එය අතීතයේ පටන් යුක්රේන ඉතිහාසය පුරාම නැවත නැවත සිදු වන ක්‍රියාදාමයකි.
දැන් යුක්රේනය යුද්ධයකට මැදිව සිටී. යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක්ව පවතින කාලයේ දී ශ්‍රී ලංකාවේ සිට එහි ගොස් තම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරගත් බොහෝ පිරිසක් වූහ. ඔවුන් බොහෝ දෙනකු මේ යුද්ධය අනුමත කරන්නේ නැත.
මේ අතරින් මාධ්‍යවේදියකු ලෙස දශක කිහිපයක් බීබීසී ආයතනයේ සේවය කළ සරෝජ් පතිරණ ද සිටියි. සෝවියට් දේශයට බිඳවැටීමට පෙර අධ්‍යාපනය සඳහා එහි ගිය ඔහුට වර්තමාන යුක්රේනයේ එවකට පැවැති විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබිණි. ඔහු තම උපාධිය අවසන් කිරීමට පෙර සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටී යුක්රේනය තම ස්වාධීන්තවය ප්‍රකාශයට පත්කර තිබිණි. නමුත් ඔවුන්ගේ අධ්‍යාපනයට එය කිසිදු බාධාවක් වූයේ නැත.
“යුක්රේනය, රුසියාව, බෙලරුසියාව රටවල ඉන්නේ වෙනසක් ඇති ජනතාවක් නොවෙයි. ඔවුන් එකම පිරිසක්” – සරෝජ් පතිරණ
සරෝජ් පතිරණ ඒ පිළිබඳ මෙසේ පවසයි.
“මම 1989 දී සෝවියට් දේශයට අධ්‍යාපනය සඳහා රජයේ ශිෂ්‍යත්වයක් ලබලා ගියා. මොස්කව්වලට ගියාම කියල් යුනිවර්සිටි හොටෙල් එකේ දී තමයි අපිව අධ්‍යාපනය සඳහා යවන ස්ථාන තීරණය කරන්නේ. ඒ වනවිට මගේ වැඩිමල් සහෝදරයා ජෝර්ජියාවේ අධ්‍යාපනය ලබමින් සිටිනවා. ඒ නිසා මම ජෝර්ජියාවේ සිබිලිස් යාමට අවස්ථාව ඉල්ලුවා. මාව සිබිලිස්වලට යැව්වා. පළමු අවුරුද්ද අපිට රුසියන් භාෂාව ඉගෙන ගන්න අවශ්‍යයි. මට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් ගුරුවරියක් තමයි අපිට රුසියන් භාෂාව ඉගැන්නුවේ. ඉන් පස්සේ මට අවස්ථාව ලැබුණා කියෙව්වලට යන්න. මම ඉගෙන ගත්තේ විදුලි ඉංජිනේරු විද්‍යාව. පසු කළෙක ඖෂධ සංස්ථාවේ සභාපතිවෙලා හිටපු රූමි මොහොමඩ් මා සමඟ සිටියා.”
ඔහු 1990 අගෝස්තු මාසයේ යුක්රේනයට ගොස් තිබූ අතර සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුව ද 1996 පෙබරවාරි මාසය දක්වා එහි රැඳී සිටියේය.
සරෝජ් පතිරණ පවසන්නේ එකළ යුක්රේනයේ සිටිය දී තමන් ඇතුළු සියලු සිසුන්ට ඉතාමත් හොඳින් අවශ්‍ය සෑම පහසුකමක් ම ලැබුණු බවයි.
“ඔවුන් අපිව රැකබලා ගත්තේ පුදුම ආදරයකින්. කිසිම වෙනසක් තිබුණේ නැහැ. සියලුම පහසුකම් ලැබුණා. නොමිලයේ නේවාසිකාගාර පහසුකම් තිබුණා. ඒවා ඉතාමත් උසස් තත්වයේ නේවාසිකාගාර. තුන්දෙනෙකුට සිටිය හැකි කාමරයක් ලැබුණේ. තට්ටු 10ක නේවාසිකාගාර ගොඩනැගිල්ලේ 08 වැනි තට්ටුවේ කාමරයක තමයි මම හිටියේ.”
ඔහු පවසන්නේ මේ නේවාසිකාගාරය පිිහිටි වීදියේ ගමන් කළ ට්‍රෑම් රථය තමන්ට කිසිදා අමතක නොවන බවයි. සෑම දිනකම උදෑසන 5.00ට ගමන් ආරම්භ කරන මේ ට්‍රෑම් රථය රාත්‍රී 12.00 වනතුරු ඩක ඩකස්, ඩක ඩකස් යන ශබ්දයෙන් ධාවනය වන බවත් මේ ශබ්දය නැතිනම් නින්ද නොයන තත්වයට ටික කලකින් තමන් ඇතුළු සිසු සිසුවියන් පත්ව සිටි බවත් සරෝජ් පතිරණ අප සමඟ කීවේය.
“ඒ කාලේ සෝවියට් උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල පළමු වසර අපේ රටේ උසස් පෙළ වගේ. අපි උසස් පෙළට ඉගෙන ගත්තු ගණිත සූත්‍ර ආදිය විශ්වවිද්‍යාලයේ පළමු වසරට උගන්වනවා. ඉතින් දේශනශාලාවට ගියාම උසස් පෙළ කරපු අපි මේ ගණන් ඉතාමත් පහසුවෙන් හදනවා දැක්කම හැමෝගෙම ආදරය, ගෞරවය, අවධානය ශ්‍රී ලාංකික සිසුන් වෙත යොමු වෙනවා. උගන්වන ගුරුවරු ඇත්තටම අපිට අම්මලා තාත්තලා වගේ. හැමදේම සොයා බැලුවා.
“අපි ඒ කාලේ කිසිම මතබේදයක් දැක්කේ නැහැ. සමස්ත සමාජයම අපිට තේරුණේ නැතිව ඇති නමුත් යුක්රේනියානුවන්, රුසියානුවන්, බෙලරුසියානුවන් කියන්නේ ලොකු වෙනසක් ඇති අය නෙවෙයි. ඔවුන්ට වෙන වෙන ම භාෂා තිබුණත් හැමෝම කතා කළේ රුසියානු භාෂාව. සියලු වැඩ කෙරුණේ රුසියානු භාෂාවෙන්. ඔවුන් අතර සංස්කෘතික වෙනස් කම් සුළු වශයෙන් තිබුණා. නමුත් ඒවා ඔවුන්ට කවදාවත් ගැටලුවක් වුණේ නැහැ.”
1991 දී සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමත් සමඟ බොහෝ වෙනස්කම් ඇතිවිය. යුක්රේනයේ සිටි සරෝජ් පතිරණ ඇතුළු විදේශීය සිසුන්ට ශිෂ්‍යත්වය අහිමි වී යළි තම රටවලට යාමට සිදුවනු ඇතැයි ද නැතිනම් මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට සිදුවනු ඇතැයි ද ප්‍රචාරය වී තිබිණි.
එතෙක් සෝවියට් ශිෂ්‍ය සංගමය ලෙස තිබූ ශිෂ්‍ය සංගමය යුක්රේනයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය බවට පත්විය. එහි සභාපතිවරයා ලෙස ද වරක් පත්වූ සරෝජ් පතිරණ එවකට යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති නිශ්ශංක විජේරත්නට මේ කරුණු සඳහන් කරමින් ලිපි පවා ලියා තිබිණි. යුක්රේනය තම ශිෂ්‍යත්වය අහිමි නොකළ බවත් ඔවුන්ට පෙර පරිදිම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදුන් බවත් සරෝජ් පතිරණ මහතා සිහිපත් කරයි.
“රටවල් බෙදී වෙන්වුණාට කිසිම දෙයක් වෙනසු වුණේ නැහැ. දේශපාලනය වෙනස් වුණා. අපිට ඒ බව දැනුනෙවත් නැහැ. ජාතිකවාදී ප්‍රවණතා දැක්කෙම නැහැ. යුක්රේනයේ නැගෙනහිර සහ බටහිර කියන කොටස් දෙකක වෙනස මුල ඉදලම තිබුණා. බටහිර පැත්ත යුරෝපයට ළං වීමත්, නිසා ජාතිවාදී ප්‍රවණතාවක් ඇති වෙමින් තිබුණා. ඔවුන් යුක්රේනියානු භාෂාව ගැන අවධානය යොමු කරලා තිබුණේ. නැගෙනහිර යුක්රේනයේ සිටින අයගේ අදහස වුණේ දිගටම ඔවුන් රුසියාව සමඟ සිටිය යුතුයි කියන මතය. ඔවුන් යුක්රේන භාෂාව පවා ප්‍රතික්ෂේප කළා. මෙය අද දක්වාම තිබුණා.”
“මම දැකපු නාගරික යුක්රේනය තුළ සියලු දේ සම්පාදනය කළා හැම කෙනෙකුටම ෆ්ලැට් එක දෙනවා. විදුලිය, ජලය, ගෑස් ඉතාමත් අඩු මිලට ලබා දෙනවා. ඒ කාලේ අපිට සුඛෝපභෝගී භාණ්ඩයක් වී තිබුණු රූපවාහිනී යන්ත්‍ර පවා මේ නිවෙස්වල තිබුණා. දුරකථන තිබුණා. ජීවන වියදම ඉතාමත් අඩුයි. පොදු ප්‍රවාහන සේවයකට ගොඩවන විට රූබල් ශත 05ක් ගෙවන්න ඕනෑ නමුත් ඕනෑම දුරක් යන්න පුළුවන්. නමුත් සමහර භාණ්ඩ මිල දී ගන්න පෝළිම් තිබුණා. හරක් මස් ආවම පෝළිමක් හැදෙනවා. කලිසම් කමිස ආවම පෝළිම් හැදෙනවා.”
සරෝජ් පතිරණ තවමත් යුක්රේනයේ සිය මිතුරු මිතුරියන් සමීපව ඇසුරු කරයි. එහිි සිටින යුක්රේන ජාතිකයන් මෙන් ම විදෙස් රටවලින් පැමිණි අය ද යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ද ඔහුගේ මිතුරෝය. බීබීසී ආයතනයේ සේවය කළ සරෝජ් මේ වනවිට “Sandeshaya by Saroj – සරෝජ් සමග සංදේශය” YouTube නාලිකාවක් ද ආරම්භ කර ඇති අතර යුක්රේනයේ යුද්ධය පිළිබඳ සජීවී අත්දැකීම් මෙන්ම කාලීන සමාජ හා දේශපාලනික තොරතුරු පිළිබඳ විවරණයන් එහි ප්‍රචාරය කරනු ලබයි.
“යුද්ධය ආරම්භවීමත් සමඟ මම බොහෝ දෙනෙක් එක්ක කතා කළා. නැගෙනහිර යුක්රේනයේ සිටි රුසියාව සමඟ යුක්රේනය එක්ව සිටිය යුතුයැයි කියූ යුක‍්රේනියානුවන් පවා දැන් රුසියාව සහ පූටින්ට එරෙහිව මත ප්‍රකාහ කරනවා. ඔවුන් කැමතියි, ස්වාධීනත්වයට.
ඔහු පවසන්නේ යුදෙව්වන්ට සැළකීම ඉතාමත් පහත් ආකාරයෙන් සිදු වූ බවයි. යුක්රේනයේ 30%ක් පමණ යුදෙව්වන් සිටි අතර ඔවුන් බොහෝ දෙනකුට ඊශ්‍රායලයට යාමට අවස්ථාව ලබාදී ඇත. එවැනි ජාතිවාදී ආකල්ප තිබුණ ද මේ වනවිට යුක්රේන ජාතිකයන් බොහෝ ප්‍රගතිශීලී වී ඇතැයි ද වත්මන් ජනාධිපතිවරයා පවා යුදෙව්වෙක් බව ද සරෝජ් මහතා පවසයි.
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ කොන්සල් ජනරාල්වරයා ද වූ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ රුසියාවේ අධ්‍යාපනය ලැබූ අයෙකි.
“ඉගෙනගෙන ගිහින් තමන්ගේ රටට ම සේවය කරන්න කියලා තමයි ඔවුන් අපිට කිව්වේ” – වෛද්‍ය හෙක්ටර් වීරසිංහ
උසස් පෙළ හැදෑරීමෙන් පසු 1972 දී රජයේ ශිෂ්‍යත්වයක් ලැබ සෝවියට් සමූහාණ්ඩුවේ උසස් අධ්‍යාපනය සඳහා ගිය ඔහු සෝවියට් මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව අධ්‍යාපනය ලැබුවේය.
ඔහු පවසන්නේ සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබූ කාලය තම ජීවිතයේ ඉතාමත් සුන්දර අවදියක් බවයි. එමෙන් ම කිසිදු මුදලක් වැය නොකර අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබුණු බව ද වෛද්‍ය වීරසිංහ මහතා සඳහන් කරයි.
“ අපි යන කාලේ සෝවියට් දේශය රටවල් ගණනාවක එකතුවක් වූ සමූහාණ්ඩුවක් විදියට තිබුණේ. අපිට කිසිම මුදලක් වැය නොකර ඉගෙන ගන්න අවස්ථාව තිබුණා. රූබල් 80ක මාසික ශිෂ්‍යාධාරයක් ලැබුණා. මහාචාර්යවරයකුගේ වැටුපත් මාසයකට රූබල් 90යි. මේ මුදලින් ආහාර සඳහා වියදම් කළාට පස්සේ මාසයකට රූබල් 40ක පමණ මුදලක් ඉතිරිකර ගන්න පුළුවන්. ඒ විදියට මුදල් ඉතිරි කරගෙන එංගලන්තය වැනි රටවල සංචාරයේ යෙදුණු ළමයි, නිවෙස්වලට මුදල් යවන ළමයි පවා හිටියා. ඒ වගේම අපිට නිවාඩු කාලවල දී සෝවියට් දේශයේ අනෙක් රවටල ඇවිදින්න අවස්ථාව දී තිබුණා. එහෙම ගියාම නිවාඩු නිකේතනවල නවතින්න පුළුවන්. මේ විදියේ සංචාරයක නිතරවුණාම සියලු වියදම් වෙනුවෙන් මාසිකව දෙන ශිෂ්‍යාධාරයෙන් රූබල් 10ක් රජයෙන් අඩුකරගන්නවා. මේ නිසා අපි හැම රටකම වගේ ඇවිද්දා. ගොඩක් අත්දැකීම් ලැබුවා.”
වෛද්‍ය හෙක්ටර් වීරසිංහ පවසන්නේ අධ්‍යාපනය ලබන සිසුන්ට අවශ්‍ය සීත ඇඳුම් පවා සියල්ල නොමිලයේ ලබාදෙන බවයි. විශාල සාප්පු සංකීර්ණයකට රැගෙන ගොස් අවශ්‍ය ඇඳුම් තෝරාගන්න ලෙස පවසා ඒවාායේ බිල රජයෙන් ගෙවන බව ද ඔහු කියා සිටියේය. මේ අනුව යට ඇඳුමේ පටන් හිස් ආවරණය දක්වා සියල්ල ඔවුන්ට නොමිළයේ ලැබී තිබිණි.
“ ඒ කාලේ බොහොම මිත්‍රශීලී රටවල්. ඒ අය සෝවියට් මිත්‍රත්ව විශ්වවිද්‍යාලය පටන් ගත්තේ තුන්වැනි ලෝකයේ අපි වගේ දියුණුවෙමින් සිටින රටවලින් උගතුන් බිිහිකිරීමේ ව්‍යාපෘතියක් හැටියට. අපිට දිගටම කියපු දෙයක් තමයි ඉගෙන ගෙන ගිහින් තමන්ගේ රටේ ම සේවය කරන්න කියලා. වෙන රටවලට සේවය කරන්න එපා කීවා. අපේ විශ්වවිද්‍යාලයේ පිටරටවලින් ආපු ගොඩක් අය හිටියා. එක කණ්ඩායමක ළමයි 15ක් ඉන්න විට ඉන් 03 දෙනෙක් වගේ තමයි සෝවියට් රටවල ළමයි ඉන්නේ. අනිත් අය ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමෙරිකානු රටවල ළමයි. වැඩිපුරම ඉන්නේ විදේශිකයන්.”
සෝවියට් සමූහාණ්ඩුව පවතිද්දී අධ්‍යාපනය හැදෑරූ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ පානදුර රෝහලෙනි. ඔහු සෝවියට් දේශය බිඳ වැටෙද්දී එහි තොරතුරු පිළිබඳ දැඩි අවධානයෙන් පසුවූයේය. පසුව රටවල් රැසක් ස්වාධීන රාජ්‍යයන් බවට පත්වූ පසු බොහෝ වෙනස්කම් සිදුව ඇති බව හෙතෙම පවසයි.
“ඒ ඒ රටවල් තමන්ගේ ස්වාධීනත්වයක් ගොඩනගා ගත්තා. ඒ වගේ ම අනෙකුත් රාජ්‍යයන් සමඟ කටයුතු කරද්දී බල අරගල ඉස්මතු වුණා. මේ නිසා තමයි අද තියෙන යුද දේශපාලනික කලබගෑනිය ඇතිවෙලා තියෙන්නේ. ඉස්සර එක්ව තිබූ රාජ්‍යයන් 15ම බොහොම සාමයෙන් සමාදානයෙන් කටයුතු කළත් දැන් ඉතින් ගැටුම් ඇතිවනවා. නමුත් මේ රාජ්‍යයන් හි සිටින්නේ පුංචි පුංචිි වෙනස්කම් තිබුණත් එකම ජන කොට්ඨාසයක්. හැමෝම රුසියන් භාෂාව කතා කරනවා. ඔවුන්ට අනන්‍ය වූ භාෂාවන් තිබෙනවා. සංස්කෘතිමය වෙනස්ක්ම තිබෙනවා. මේ විවිධත්වය ආරක්ෂා කරගෙන සහයෝගයෙන් සිටිය හැකිනම් ඒ තමයි හොඳම දේ. මේ වගේ යුද්ධයක් ඇතිවීම ගැන ඇත්තටම කණගාටුයි. අපි ඉගෙන ගත්තු රටවල් නිසා ඒ රටේ ජනතාව කොතරම් සුහදශීලී ද කියා දන්නවා. ඇත්තටම මෙය සිදුවන්නේ ජනතාවගේ වුවමනාවට නොවිය යුතුයි. ඔවුන් එකම ජන කොටසක්. මෙය සිදු නොවිය යුතු යුද්ධයක්. ඇත්තටම අපේ ප්‍රාර්ථනය මේ යුද්ධය ඉක්මණින්ම අවසන් වී යළි සාමය උදාවේවා කියලයි.”
දෙව් සෙනෙවි විතානගේ මහතා යුක්රේනයේ අධ්‍යාපනය ලැබූ ලාංකිකයෙකි. 1991 දී ඔහු සෝවියට් සමූහාණ්ඩුවේ අධ්‍යාපනය ලැබීමට ඉල්ලුම් කළ ද ඔහු එහි යනවිට සෝවියට් දේශය බිඳ වැටී තිබිණි. එබැවින් ඔහුට ලැබුණේ යුක්රේනයේ ඩොන්බාස්හි ඩැනියස් නගරයේ පිහිටි රජයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබීමටයි. එහි තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරූ දෙව් සෙනෙවි මේ වනවිට ශ්‍රී ලංකාවේ වාසය කරයි.
ඔහු පවසන්නේ තමන්ට ශිෂ්‍යාධාර දීමනා ලැබුණේ පළමු වසරේ දී පමණක් බවයි. ඉන් පසු වාර්ෂිකව සුළු මුදලක් විශ්වවිද්‍යාලයට ගෙවීමට සිදුවූ බව ඔහු සිහිපත් කරයි.
“මම දැකපු ලොකුම දේ තමයි, ඒ රටවල ජනතාවගේ තිබුණු ශික්ෂණය. පුදුමාකාර විනයක් සංවරයක් තියෙන්නේ. එකිනෙකා අතර කිසිම තරඟයක් නෑ. හැමෝටම ගරු කරනවා. සමානාත්මතාවයෙන් කටයුතු කරනවා. අපි ශීත කාලයේ දී පාරේ යනවා දුටුවත් අඩගහලා කෝපි එකක්, තේ එකක් බොන්න දෙනවා සීතල අපිට දරාගන්න අමාරුයි කියනවා. ගුරුවරු පවා අපිට ගොඩක් උදව් කළා. අපේ නවාතැනේ විදුලි බුබුලක් පිච්චුනත් ඒ අය ඒක ගෙනත් දෙනවා. පොත්පත් පෑන් පැන්සල් සියල්ල අපිට ගෙනත් දෙනවා. ඉතාමත් සමගියෙන් සහ සහයෝගයෙන් ජීවත් වුණු ජාතියක්.”
ඔහු පවසන්නේ සෝවියට් දේශය බිඳ වැටුණ ද එම රටවල් ඉතාමත් සහයෝගයෙන් ස්වාධීනව පැවැති බවයි. නමුත් දැන් ඇති වී තිබෙන යුද්ධය මේ මිනිසුන්ගේ හදවත්වලට දරාගත නොහැකි දෙයක් වී ඇතැයි ද දෙව් සෙනවි මහතාගේ අදහස වී තිබේ.
රුසියානු භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ හෙතෙම දැන් සංචාරක ව්‍යාපාරටය එක්වී සිටියි. තම භාෂා දැනුම උපයෝගී කරගෙන රුසියානු සහ යුක්රේන සංචාරකයන් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ යෙදී සිටින ඔහු පවසන්නේමේ යුද්ධය ඉක්මණින්ම අවසන්වනු දැකීම සියලුම යුක්රේනියානුවන්ගේ සහ රුසියානුවන්ගේ ප්‍රාර්ථනය බවයි.