දැරියක ලෙස උපත ලබා පිරිමියකු වන අයත්, දරුවකු ලෙස උපත ලබා ගැහැනියක වන අයත් අද සමාජයේ ඕනෑ තරම් සිටිති. ඒ සංක්‍රාන්ති ලිංගිකයෝය.
සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳ අද ශ්‍රී ලාංකීය සමාජයේ ආකල්ප යම් තරමකින් යහත් අතට පත්වෙමින් තිබුණ ද ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ගැටලු කිහිපයක් තවමත් ඉතිරිව තිබේ.
සංක‍්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධයෙන් බලපාන නීතිවල සාධනීය වෙනස්කම් පසුගිය කාලයේදී සිදුවිය.
විශේෂයේන ම ස්වභාවික හේතූන් මත ලිංගිකව වෙනස්වන පුද්ගලයින්ගේ උප්පැන්න සහතියක වෙනස් කරගැනීමට හැකි නිතී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන චක‍්‍රලේඛයක් මගින් සකස් කෙරිණි.
සංක‍්‍රාන්තික ලිංගිකයින් බවට පත්වන පුද්ගලයින්ට රජයේ රෝහලකට ගොස් අදාල සැත්කම් සිදුකරගැනීමෙන් පසුව හා හෝමෝන ලබාගැනීමෙන් පසුව වෛද්‍ය සහතිකයක් ලැබේ. මෙම වෛද්‍ය සහතිකය රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ගේ උප්පැන්න සහිතකය වෙනස් කරගැනීමට නීතිමය අවසරය තිබේ.
එහෙත් ඔවුන් සම්බන්ධයෙන් වන අපරාධමය නීති සදහා සංශෝධන ගෙන ආ යුතු කාලය එළඹ ඇතැයි නීතිවේදීහු පෙන්වා දෙති.
‘‘දණ්ඩනීති සංග‍්‍රහය අනුව තමයි මොවුන් අපරාධ වරදකරුවන් බවට පත් කිරිමට හැකි නීති ගෙනවිත් තියෙන්නේ. දණ්ඩ නීති සංග‍්‍රහය කියන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී ගෙනාපු නීති. ඒ කාලේ තමන්ගේ යටත්විජිතවල ජීවත් වන අය ශිෂ්ඨ සම්පන්න නොවන බව කියමින්, ඔවුන් ශිෂ්ඨ සම්පන්න කිරීම සදහා තමයි එම නීති ගෙනවිත් තියෙන්නේ. ඒත් එම රටවල් දැනට අවුරුදු පනහකට හැටකට විතර කලින් මේ නීති වෙනස් කළා. අපි තවමත් ඔවුන් ගෙන ආ නීති එලෙසම පවත්වාගෙන යමින් තිබෙනවා’’ නීතීඥ කෞෂල්‍යා ආරියරත්න සදහන් කළාය.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් සදහන් කරන්නේ දණ්ඩනීති සංග‍්‍රහයේ 365 සහ 399 යන වගන්ති යටතේ සමරිසි සහ සංක‍්‍රාන්තික ලිංගික පුද්ගලයින් වරදකරුවන් බවට පත් කිරීමට හැකියාව ඇති බවයි.
‘‘දණ්ඩනීති සංග‍්‍රහයේ 365 වගන්තියේ තියෙන්නේ අස්භාවික ලිංගික හැසිරීම්වල යෙදුනොත් නඩු පවරන්න පුලුවන් කියන එකයි. නමුත් මේ අස්වාභාවික හැසිරීම් මොනවාද කියන එක නීතියේ හරියට නිර්වචනය කරලා නැහැ. ඒ නිසා පොලිසියට හැකියාව තිබෙනවා මේ අයට නඩු දාන්න. කවුරුහරි ගෙදරක දොරගුලු දාගෙන හැසිරුනත්, දඩුවම් ලබාදෙන්න පුලුවන් විදියට තමයි මේ නීති හැදිලා තියෙන්නේ. නීතිය සමරිසි පුද්ගලයින්ට විතරක් නෙමෙයි, සමරිසි නොවන අයෙක්ටත් බලපාන්න පුලුවන්. ඒ නිසා එවැනි නීති වෙනස් කළ යුතුයි.’’ විසාකේස චන්ද්‍රසේකරම් සදහන් කළේය.
මෙම නීතිය නිසා සමරිසි පුද්ගලයින්ට බියෙන් ජීවත්වීමට සිදුව ඇතැයි විසාකේස චන්ද්‍රසේකරම් සදහන් පවසයි.
ඇතැම් අවස්ථාවලදී මෙම නීතිය භාවිතා කරමින් සංක‍්‍රාන්තික සමාජභාවයක් සහිත පුද්ලයින් පීඩාවට පත් කිරිමට කටයුතු කරනු දක්නට ලැබේ.
‘‘දණ්ඩනීති සංග‍්‍රහයේ මෙම වගන්තිය නිසා බොහෝ අවස්ථාවලදී හිංසාකාරී තත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා. බොහෝ විට සමරිසි පිරිස් අල්ලාගෙන ඔවුන්ට කරදර කරනවා. අපහාස කරනවා. පීඩා කරනවා. කවුරුහරි පුද්ගලයෙක් ගිහින් සමරිසි ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැම්මොත් පොලීසියත් දුවගෙන ගිහින් ඒ පුද්ගලයාගේ ජංගම දුරකතනය තමයි මුලින්ම අරගන්නේ. ඊට පස්සේ නොයෙක් පීඩාවන් කරනවා’’නීතීඥ කෞෂල්‍යා ආරියරත්න පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ හා නීතිය සම්බන්ධයෙන් පුහුණවීමක් ලබාදිය යුතු බව අවධාරණය කරමිනි.
දණ්ඩනීති සංග‍්‍රහයේ 399 වගන්තියේ දැක්වෙන්නේ යම් අයෙක් රැවටීම සදහා වෙස් වලාගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි. සංක‍්‍රාන්තික ලිංගික ප‍්‍රජාව සදහා බලපාන මේ නීතියේ මූලික කොටසක් යම් ආකාරයකට නම්‍යශීලී වී ඇතත් තවත් වෙනස්විය යුතු තැන් තිබේ. සංක‍්‍රාන්තික සමාජභාවයක් සහිත පුද්ගලයින්ට වෛද්‍ය සහතික ලබාගැනීමෙන් පසුව උප්පැන්නයේ තම ලිංගික අනන්‍යතාවය වෙනස් කරගැනීමට අවසර තිබේ. එහෙත් ජාතික හැදුනුම්පත වෙනස් කරගැනීමට ඔවුන්ට අවස්ථාවක් හිමිවන්නේ නැත.
‘‘සංක‍්‍රාන්තික සමාජභාවී පුද්ගලයින්ගේ හැදුනුම්පත් වෙනස් කිරීමට අවස්ථාවක් නොමැති නිසා ඔවුන් විශාල ගැටලුවලට මුහුණ දෙනවා. ඔවුන් ඇදගෙන ඉන්නේ එක විදියකට. ඒත් ඔවුන්ගේ හැදුනුම්පත්වල තියෙන්නේ තවත් විදියකට. කාන්තාවක් විදියට ඇඳගෙන හිටියාට ඔවුන්ගේ හැදුනුම්පතේ තියෙන්නේ පිරිමි නමක්. මේ ආකාරයට සංක‍්‍රාන්තික සමාජභාවයක් සහිත පුද්ගලයින් පීඩාවට පත් කරන නීති වෙනස් විය යුතුයි.” ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් කියයි.
මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත් විටත් මෙලෙස වෙනස් කර සැළකීමට කිසිදු අවස්ථාවක් නැත.
‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය අනුව පුද්ගලයින්ට වෙනස් කොට සලකන්න බැහැ. නීති මගින් වෙනස් කර සැලකීමට අවස්ථාවක් නෑ. සමරිසි හෝ සංක‍්‍රාන්තික සමාජභාවී පුද්ගලයින් කියන එක එහි සදහන් වෙන්නේ නැතත් 12 වැනි වගන්තිය පුළුල් වගන්තියක් නිසා ඔවුන්ටත් වෙනස් කොට සලකන්න බෑ. මේ යටතේ ප‍්‍රජාවට වෙනස් කොට සලකන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවම තීන්දුවක් ලබාදී නැහැ. ඒත් අපි අධිකරණයට ගොස් තිබෙනවා. ඒ අනුව අධිකරණය විසින් තීන්දුවක් ලබාදෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා’’ආචාර්ය චන්ද‍්‍රසේකරම් පවසයි.
හියුමන් රයිට්ස් වොච් සංවිධානය ද වාර්තාවක් නිකුත් කරමින් ඒ පිළිබඳ සිය අවධානය යොමු කර තිබිණි.
ආචාර්ය චන්ද්‍රසේකරම් ඉල්ලා සිටින්නේ සංක‍්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් අපරාධකරුවන් ලෙස නොසලකන තත්වයක් ඇති කරන ලෙස පමණි. ඔවුන්ට විවාහ වීම සදහා අවසර ලබාදෙන නීති ගෙන ඒමට කිසිදු අවස්ථාවකදී ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ නැතැයි ඔහු පවසන්නේය.
‘‘මෙවැනි පුද්ගලයින් කිසිම තැනකදී විවාහ වෙන්න අවසර දෙන්න කියලා ඉල්ලා නෑ. ලෝකයේ වෙනත් රටවලත් එවැනි අවසරයක් ලබාදී නැහැ. තමන්ගේ කැමැත්තෙන් නැතිව, ස්වභාවික හේතූන් මත ශරීරයේ වෙනස් කම් සිදුවන පුද්ගලයින් අපරාධකරුවන් ලෙස සලකන්න එපා කියන එක විතරයි අපි ඉල්ලන්නේ” ඒ ඔවුන්ගේ හඬයි.
ශ‍්‍රී ලංකා පවුල් සැලසුම් සංවිධානය වෙනුවෙන් වන ව්‍යාපෘතියක් සදහා සකස් කළේ සංජය නල්ලපෙරුම