ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මාසයකට ඩොලර් 100 බැගින් මෙරටට ගෙන්වාගැනීමට නව සැළසුමක් සකස්කර ඇතැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඊයේ 923) ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ දී කීවේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
“ඩුබායිවල පමණක් ලක්ෂ 03ක් ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. ඔවුන් මේ විදියට මැදපෙරදිග රටවලට ගිහින් තියෙන්නේ තමන්ට කියලා ඉඩමක් ගන්න. ගෙයක් දාගන්න, දරුවන්ට උගන්වන්න, ව්‍යාපාරයක් පටන් ගන්න. අපි ඒ අයට කියනවා ඔබ රට විරුවෙක් හැටියට හැම මාසයක ම ඩොලර් 100ක මුදලක් ස්ථිර තැන්පතුවක් ලෙස ලංකාවට එවන්න කියලා. එතකොට ඩොලර් 1,200ක් එක්කෙනෙකුගෙන් අවුරුද්දකට ලැබෙනවා. වර්ෂයක් තුළ දී ඔවුන් එවන මුදල වගේ 10 ගුණයක් රුපියල්වලින් ණයක් ලෙස දෙනවා. එය රුපියල් ලක්ෂ 25ක්, ඔවුන්ට එය අවුරුදු 10කින් ගෙවන්න පුළුවන්. ඒ ණය දෙන්නෙත් 6%ක් වගේ අඩු පොළියකට. මාසික වාරිකවලින් බෙදුවොත් මාසයකට ගෙවන්න වෙන්න් රුපියල් 33,333.00යි. මෙය ඔවුන්ට වාසිදායක දෙයක්.”
කෙසේ වෙතත් ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට නම් ඩොලරයේ අගය පාලනය කිරීමකින් තොරව පවත්වාගෙන යා යුතු බව ආර්ථික විශේෂඥයෝ පවසති. රටේ ආර්ථිකය කඩා වැටෙද්දී රජය ඩොලරය සඳහා ලබාදෙන මුදල රුපියල් 200.00 සීමාවේ පවත්වාගෙන ගිය ද මේ වනවිට වෙනත් බාහිර පාර්ශවයන් විසින් ඩොලරයක් සඳහා රුපියල් 250.00කට ආසන්න මුදලක් ගෙවනු ලබයි. එබැවින් ඩොලරයට නිසි වටිනාකමක් නොලැබෙන බැවින් විදෙස්ගත ශ්‍රමිකයෝ ශ්‍රී ලංකාවට මුදල් එවීම ඉතාමත් සීමාකර ඇත. එබැවින් ඩොලර් නොමැතිවීමේ අර්බුදය පසුගිය මාස කිහිපයේ දී තව තවත් දරුණු වී තිබිණි.