ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 17 වැනි දා ගාල්ලට පැමිණීම නිමිත්තෙන් ගාල්ලේ ඇස්බැන්දුම් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ජනතාව චෝදනා කරති.
ඊයේ (14) හදිසියේ ම ක්‍රියාත්මක වූ ගාල්ල මහ නගර සභාව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ලේ දෙවට සහ ජාකොටුව වැල්ලේ තිබූ සියලුම ධීවර අළෙවි සැල් සහ ධීවර වාඩි එම ස්ථානවලින් ඉවත් කෙරිණි.
මෙම ක්‍රියාට ධීවරයන්ගේ දැඩි විරෝධයක් මතුවූ අතර ඇතැම් ධීවරයන් කියා සිටියේ ජනාධිපතිවරාය සතුටු කිරීමට පමණක් තමන් ඡන්දය භාවිතා නොකළ බවයි.
මේ සම්බන්ධයෙන් ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්ධුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ කාලයක සිට නගරයට පිවිසෙන විට අශෝභන දර්ශනයක් වී ඇති ධීවර අළෙවිසැල් ඇතුළු අනවසර ඉදිකිරීම් කිහිපයක් ඉවත්කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහය නගර සභාවෙන් ලබාදුන් බවයි. ඉදිරියේ දී නිසි සැළැස්මක් අනුව අලංකාරවත් ලෙස ඉදිකිරීමක් කර ඔවුන්ගේ ජීවනෝපායට අවස්ථාව ලබාදෙන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර ගාල්ල නගරයේ සියලුම වටරවුම්වල මල් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වෙමින් පවතී. මල් පිපී ඇති තරමක් උසට වැඩුණු ශාක ගෙනවිත් ඒවායේ සිටුවන අතර ජනාධිපතිවරයා ගාල්ල නගරයට පැමිණෙන විට එම වටරවුම් සියල්ල කාලයක සිට ඉතා හොඳින් නඩත්තු කරන ලද ස්ථාන ලෙස ප්‍රදර්ශනය වන ආකාරයට තැබීමට සැළසුම් කර තිබේ.
2004 දෙසැම්බර් 26 වැනි දා සුනාමියෙන් පසු ගාල්ල නගරය සඳහා නව නගර සැළසුම් කිහිපයක්ම ඉදිරිපත් වූ අතර කෝටි ගණන් අරමුදල් ලැබුණු බව ද ප්‍රකාශයට පත්කෙරිණි. එදා සුනාමියෙන් විනාශ වූ මහමෝදර රෝහල වෙනුවෙන් හෙල්මුත් කෝල් පදනමෙන් රුපිල් කෝටි 3,500ක මුදල් පරිත්‍යාගයක් ලැබුණු අතර ඒ මුදලට සිදුවූ දෙයක් අදටත් කිසිවෙකුත් දන්නේ නැත. නමුත් ඉන් පසු ණය ආධාර යටතේ එම රෝහල ඉදිකරන ලද අතර මේ වනවිට ගොඩනැගිලි ඉදිකර අවසන්ව ඇත. සුනාමියට පැමිණ වසර 17ක් ඉක්ම ගිය අවස්ථාවක වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගාල්ලට පැමිණිය ද එම රෝහල විවෘත කිරීමට කටයුතු යොදන බවක් පෙනෙන්නට නැත.
එමෙන් ම සුනාමියෙන් විනාශ වූ ගාල්ල නගරයේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සමූහය පසුව නාවික හමුදාවෙන් අත්පත් කරගත් අතර, එදා සුනාමියෙන් විනාශ වූ ව්‍යාපාරික ගොඩනැගිලිවල සිටි ව්‍යාපාරිකයෝ තවමත් කැකිරිබොක්කේ සහ ඔරොප්පුවත්තේ සාදා දුන් තාවකාලික කඩකාමරවල දුක් විඳිති.
ගාල්ල නගරය සුන්දර නගරයක් බවට ජනාධිපතිවරයාට පෙන්වීමට ඇස්බැන්දුම් කර රටේ රාජ්‍ය නායකයා අමු අමුවේ රවටන වගකිවයුත්තෝ ගාල්ලේ සැබෑ ප්‍රශ්න කිසිදිනක ජනාධිපතිවරයාට පවසන්නේ නැත.
ගාල්ලේ ප්‍රශ්න ඕනෑ තරම් තිබේ. ඒවා කිසි දිනක රටේ නායකයා හමුවට යන්නේ නැත. රාජ්‍ය නායකයා වෙත ගෙන යන්නේ වගකිව යුතු පිරිස් විසින් සැළසුම්කළ ප්‍රශ්න පමණි. මෙවැනි ඉන්ද්‍රජාලිකයන් විසින් කරන ඇස්බැන්දුම් නිසා ම ගාල්ල කිසිදා ගොඩගත නොහැකි නගරයකි.
ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.