ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ අද (12) පැවැත්වෙන සංගීත සංදර්ශනයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට පටහැනිව සහ පොලිස් මාර්ගෝපදේශ නොතකා පැවැත්වෙන බවට පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ.
එම සංගීත සංදර්ශනය පැවැත්වෙන ස්ථානයෙන් අධික ශබ්දයක් නිකුත් කරමින් ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ නිදහස් යහ පැවැත්මට බාධා කරන බවත්, එය ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනයක් බවත් අදාල පැමිණිල්ලේ දක්වා ඇත.
පොලිස් පැමිණිලි කොමිසමට යොමුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස ගාල්ල මූලස්ථාන පොලිසියට දැනුම් දී ඇති බව පොලිස් පැමිණිලි කොමිසමේ හදිසි ඇමතුම් අංශය සඳහන් කරයි.
මෙම සංගීත සංදර්ශනය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලිසියෙන් බලපත්‍රයක් ලබාගෙන ඇත. එලෙස බලපත්‍ර ලබාගෙන ශබ්දය විකාශය කළ හැකි වුව ද එම ශබ්දය අදාල අවසරය ගත්, සංගීත සංදර්ශනය පැවැත්වෙන භූමියෙන් පිටතට ඇසීමට නොහැකි අතර සියලුම ශබ්ද විකාශන උපකරණ අදාල පරිශ්‍රය දෙසට හරවා සවිකර තිබිය යුතුය. තව ද එම පරිශ්‍රය තුළ දී ද ශබ්දය උපරිම වශයෙන් උත්පාදනය කළ හැකිවන්නේ ඩෙසිබල් 70ක ප්‍රමාණයකට වුව ද අද දහවල් එම සංගීත සංදර්ශන භූමියේ උත්පාදනය වන ශබ්දය එම ස්ථානයේ සිට මීටර 800ක් පමණ දුරට ඩෙසිබල් 100 ඉක්මවා ඇසෙමින් තිබී ඇත.
ශබ්ද විකාශනය සඳහා බලපත්‍ර ලබාගැනීමේ දී ඊට අදාල කොන්දේසි 12ක් පොලිසිය විසින් ඉදිරිපත්කරනු ලබන අතර එම කොන්දේසි කඩ කරන්නේ නම් අදාල බලපත්‍රය අවලංගුකර ශබ්ද විකාශනය කරනු ලබන පුද්ගලයන් දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය අනුව පොදු වරදක් සිදුකරන බැවින් පොලිස් පනතේ 80 (4) වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අදාල ශබ්ද විමෝචන උපකරණ ද සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළ යුතුය.
පැමිණිලි පාර්ශවය සඳහන් කරන්නේ මෙම සංගීත සංදර්ශනය අද දිනයේ ශබ්ද විකාශන කොන්දේසි කඩකරමින් පවත්වන්නේ නම්, පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළහොත් පොලිසිය රාජකාරී පැහැර හැරීම සහ මානව හිමිකම් කඩකිරීම යන චෝදනා යටතේ පොලිසියටත් සංගීත සංදර්ශනයේ සංවිධායකවරුන්ටත් එරෙහිව අධිකරණනයක නඩු පවරන බවයි.
එමෙන් ම මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට ද දැනුම් දෙන බව පැමිණිලි පාර්ශවය සඳහන් කරයි.