කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකරන කොරෝනා ආසාදිත මළ සිරුරුවලින් මුදල් ගැරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මේ වනවිට rata.lk වෙබ් අඩවිය වෙත ලැබී තිබේ
කොරෝනා ආසාදිත බවට තහවුරු වූ මළ සිරුරු ඥාතීන්ට භාර නොදෙන අතර එය පෙන්වනු ලබන්නේ ද ඥාතීන් කිහිප දෙනෙකුට පමණි.
නමුත් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති කොරෝනා ආසාදිත සිරුරු ඥාතීන්ට පෙන්වන බවත්, එම මළ සිරුරු සෝදා පිරිසිදු කර ආගමික චාරිත්‍ර සිදුකරන බවත්, පවසමින් ඥාතීන් ගෙනවිත් දෙන ඇඳුමක් මළ සිරුරට අන්දවන බවත් පවසමින් එහි සේවකයෝ දස ගහස් ගණනින් මුදල් ගරති.
මේ සියල්ල සිදුවන්නේ අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍යවරු නොමැති අවස්ථාවන්හි දී සහ විශේෂයෙන් ම රාත්‍රී කාලයේ දී ය.
ගාල්ලේ එක්තරා ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියකුගේ නැන්දණිය මියගිය අවස්ථාවේ දී ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට අනුව සිරුර සෝදා පිරිසිදු කර අදාල චාරිත්‍ර ඉටුකිරීමට අවස්ථාව ලබාදීම සඳහා රුපියල් 40,000.00ක මුදලක් මෘත ශරීරාගාරයේ සේවකයන් විසින් ලබාගෙන තිබිණි.
මේ අතර පසුගිය පෙබරවාරි 07 වැනි දා මියගිය යක්කලමුල්ලේ පදිංචි පුද්ගලයකුගේ මළ සිරුර ඥාතීන්ට පෙන්වීම සඳහා මුදල් ලබාගෙන තිබූ අතර ඒ බව පවුලේ ඥාතීන් විසින් අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන්ට ද වාචිකව පැමිණිලි කර තිබිණි.
මේ පිළිබඳ වෛද්‍යවරුන් විසින් රෝහල් අධ්‍යක්ෂවරයා ද දැනුම්වත් කර ඇති අතර රාත්‍රී කාලයේ මුදල් ලබාගෙන සිරුර පෙන්වූ සේවකයන් තමන්ගේ ජාවාරම අසුවූ බව දැන ඔවුන්ගේ සේවා වාර්තා කිරීමේ ලේඛන පවා මේ වනවිට වෙනස් කර එදින නිවාඩු ඉල්ලා ඇති බව ද අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙයි.
එමෙන් ම මුදල් ලබාගත් රෝහල් සේවකයන් මුදල් ලබාදුන් ඥාතීන් සොයා යක්කලමුල්ලේ නිවසට ගොස් ඔවුන් සමඟ සාකච්ඡාකර ගැටලුව ගොඩින් බේරාගැනීමට ද කටයුතු කර තිබේ.
අපගේ මාධ්‍යවේදිනියකගේ ඥාතීන් පිරිසකට ද මේ අත්දැකීම විඳින්නට සිදුව තිබිණි. rata.lk වෙබ් අඩවිය හා සම්බන්ධ එම මාධ්‍යවේදිනිය ගාල්ලේ පදිංචිකාරියකි. ඇගේ ඥාතියකු මියගිය අවස්ථාවේ දී මියගිය තැනැත්තිය ඇගේ දරුවන්ට පෙන්වීමට බව පවසමින් අවස්ථා ගණනාවක දී එක් කණ්ඩායමකින් රුපියල් 5000.00 බැගින් මෘත ශරීරාගාර සේවකයන් මුදල් ලබාගෙන තිබූ අතර එලෙස පැමිණි අයකුට පවසා තිබුණේ මළ සිරුර සෝදා පිරිසිදු කර ගෙනවිත් දෙන සාරියකින් සරසා ආදාහනය සඳහා යැවීමට රුපියල් 15,000.00ක් අයකරන බවයි.
එයට එකඟ වූ ඥාතීන් රුපියල් 15,000.00ක මුදල ලබා දී මියගිය මවගේ සිරුර සැරසීම සඳහා සුදු සාරියක් ද ගෙනවිත් දී තිබූ අතර රාත්‍රී කාලයේ දී කරාපිටිය මෘත ශරීරාගාරයේ දී ගනුදෙනුව සිදුවිය. ඒ මොහොතේ වෛද්‍යවරු කිසිවෙකුත් අධිකරණ වෛද්‍ය අංශයේ නොසිටි අතර පැයකට පමණ පසු මුදල් ගෙවූ ඥාතීන්ට, කොරෝනා ආසාදිතව මියගිය සිය මවගේ සිරුර සාරියකින් සරසා තිබෙන ඡායාරූපයක් ලැබිණි.
මේ පිළිබඳ අප අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන්ගෙන් විමසූ විට කියා සිටිය් එවැන්නක් සිදුවීමට හැකියාවක් නොමැති බවයි. පීසීආර් පරීක්ෂණ කඩිනමින් ලබාදෙන බව පවසමින් මුදල් ගැරීමක් මීට පෙර සිදු වූ බවත් එලෙස මුදල් ලබා නොදෙන ලෙස දැන්වීම් පවා ඇලවූ බවත් වෛද්‍යවරු කීහ.
කොරෝනා ආසාදිත වූ අයගේ මළ සිරුරු ඥාතීන්ට පෙන්වන්නේ කිසිදු මුදල් අයකිරීමකින් තොරව බවත් වෛද්‍යවරු නොමැති අවස්ථාවේ දී මෙවැනි මුදල් ගැරීම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණ අංශයේ වෛද්‍යවරු කියති.
කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබෙන කොරෝනා මළ සිරුරුවලින් මුදල් ගැරීමේ දී එහි ප්‍රධාන ඉලක්කය වන්නේ මුස්ලිම් ආගමිකයන්ගේ මළ සිරුරු බව අප කළ නිරීක්ෂණවලින් පැහැදිලිවිය. ඔවුන්ගේ ආගමික විශ්වාසය අනුව මළ සිරුර මිහිදන් කිරීමට පෙර නහවා පිරිසිදු කළ යුතුය. එමෙන් ම ඔවුන් මළි සිරුර දැක ආගමික වතාවත් සිදුකිරීමට ද කටයුතු කරති.
මේ සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාර සේවකයන් පිරිසක් එක් මළ සිරුරකින් අවම වශයෙන් රුපියල් 5,000.00 සිට රුපියල් 50,000.00ක් දක්වා මුදලක් අල්ලස් ලෙස ගනිති. ඇතැම් අවස්ථාවල දී එම මුදල රුපියල් 100,000.00 පමණ වන බව ද මුදල් දුන් අයම කියති.
මේ පිළිබඳ රෝහලේ බලධාරීන්ගේ පමණක් නොව රජයේ ම අවධානය යොමුවිය යුතුය.
සැළකිය යුතුයි – මෙම ප්‍රවෘත්තියේ සඳහන් කරුණු මාස කිහිපයක් පුරා අප විසින් සිදුකරන ලද විමර්ශනයන් හා පැහැදිළි සාක්ෂි මත පදනම් කරගෙන ඇති අතර එමගින් යම් පාර්ශවයකට අගතියක් සිදුවන්නේ නම් ඔවුන්ගේ පැහැදිළිකිරීම් ද මේ හා සමාන අවස්ථාවක් ලබාදෙමින් පළකරන බව ද දන්වා සිටින්නෙමු.