පන්දු යවන්නන් සිය වගකීම ඉටු කළ ද පහසු ඉලක්කයක් හඹායාමට පිතිකරුවන්ට නොහැකිවීමෙන් ඕස්ට්‍රේලියාව සමඟ පැවැති පළමු තරඟයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 20ක පරාජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඕස්ට්‍රේලියාවට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළේය.
පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු සිඩ්නි තණතීරුවක ලැබුණු 150ක ඉලක්කය පන්දුවාර 19ක දී 143ක් ලෙස වැස්සෙන් පසු සංශෝධනය වුව ද ශ්‍රී ලංකා කණ්ඩායමට 19 වැනි පන්දුවාරය නිමාවන විට ලබාගත හැකිවූයේ ලකුණු 122ක් පමණි.
ඕස්ට්‍රේලියාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රෙක් මැක්ඩමට්ගේ පුතණුවන් වන බෙන් මැක්ඩර්මට් අද සිය පළමු අන්තර්ජාතික විස්සයි – 20 තරඟයේ දී ම අර්ධ ශතකයක් ලබාගත්තේ පන්දු 38කිනි. හතරේ පහර 02ක් සහ හයේ පහර 03ක් ඊට ඇතුළත් විය.
පස්වැනි පන්දුවාරය යැවූ වනිඳු හසරංග එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී මුළු ලකුණු 30 දී පළමු කඩුල්ල ලෙස නායක ෆින්ච් ලකුණු 08කට දවාගත්ත ද තවත් නවකයකු වන ජොෂ් ඉංග්ලිෂ් සමඟ එක්වූ බෙන් ලකුණු පුවරු 80 දක්වා ඉහළ දැමුවේ විශාල ලකුණු සංඛ්‍යාවකට යන බව පෙන්වමිනි.
නමුත් චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ ඉංග්ලිෂ් දැවීයාමත් සමඟ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරඟයේ පාලනය සියතට ගත්හ. ඔහුගේ දැවීයාමත් සමඟ ලකුණු 27කට කඩුළු 04ක් දවා ගැනීමට පන්දුයවන්නෝ සමත්වූහ.
මාකස් ස්ටොයිනිස් පන්දු 17ක දී ලකුණු 30ක් ලබාගෙන සිටිය දී දසුන් ශානකගේ දක්ෂ උඩපන්දු රැකීමකින් ඔහුගේ ඉනිම නිමාවට පත්විය. උඩපන්දුව රැකගන්නා අවස්ථාවේ දී දසුන්ගේ සිරුර පොළොවට සමාන්තරව අඩි 04ක් පමණ ඉහළින් පැවතිණි. විස්තර විචාරකයෝ මේ පන්දු රැකීම මහත් සේ වර්ණනා කළහ.
ආරම්භයේ සිටම නිවැරදි ඉලක්කයට පන්දු යැවූ බිනුර ප්‍රනාන්දු සිය පන්දුවාර 04 ලකුණු 12කට සීමා කළේ කඩුළු 02ක් දවාගනිමිනි. වනිඳු හසරංග කඩුළු 03ක් දවාගත්ත ද ඔහුගේ පන්දුවාර 04ට ඕස්ටේලියානුවෝ ලකණු 38ක් රැස්කළේ එක් පන්දුවාරයකට ලකුණු 9.5ක වේගයක් රඳවාගැනිමිනි.
ලකුණු 150ක ඉලක්කයක් හඹායාමේ දී ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු දෙදෙනාම ලකුණු 21ක් ඇතුළත දැවීයාම කණ්ඩායමට හිස එසවීමට නොහැකි පාඩුවක් විය. පැතුම් නිශ්ශංකට එක්වූ චරිත් අසලංක කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමට උත්සාහ ගනිමින් සිටිය දී 11 වැනි පන්දුවාරය යැවූ ඇඩම් සම්පා විසින් ඔවුන් දෙදෙනා ම ලකුණු 03ක් ඇතුළත ආපසු හරවායැවුවේය.
ඒ වනවිට නිශ්ශංක පන්දු 37කින් ලකුණු 36ක් ලබා සිටි අතර අසලංක පන්දු 19කින් ලකුණු 16ක් ලබා සිටියේය. පිටියේ එක් වූ වනිඳු හසරංග සහ නායක දසුන් ශානක ඉනිම ගොඩගැනීමට උත්සාහ ගත්ත ද ඔවුන්ට ද සාර්ථකවීමට ඕස්ට්‍රේලියානුවෝ ඉඩ දුන්නේ නැත.
පස්වැනි කඩුල්ල බිඳවැටීමෙන් පසු පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් හුදකලා සටනක නිරතවී සිටිය ද කිසිදු පිතිකරුවකුගෙන් ඔහුට අවශ්‍ය සහාය නොලැබීමේ ප්‍රතිඵලය වූයේ පන්දු 16කින් නොදැවී ලකුණු 25ක් ලබාගත් චන්දිමාල් පිටියේ සිටිය දී ම ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 20ක පහසු ජයක් හිමිවීමයි.
ලකුණු 12කට ශ්‍රී ලංකා කඩුළලු 04ක් බිඳ දැමූ ඇඩම් සම්පා තරගේ වීරයා සම්මානය දිනාගත්තේය.

