ත්‍රිකුණාමලය සම්මුගම් බාලිකා විද්‍යාලයේ ගුරුවරියක් හිකාබයක් පැළඳ මුහුණ ආවරණය වන පරිදි නිකාබයක් ද පැළඳ පැමිණීමෙන් ඊයේ (02) පාසලේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබූ අතර අද (03) දිනයේ ද සිසු දරු දැරියෝ අධ්‍යයන කටයුතුවලින් බැහැරව පාසල ඉදිරිපිට රැඳී සිටිති.
මෙම ගැටලු සහගත අවස්ථාවේ දී අදාල ගුරුවරිය විසින් තල්ලුකර දැමීම හේතුවෙන් පාසලේ විදුහල්පතිනිය බිම ඇද වැටී රෝහල්ගත කර ඇති අතර ආගමික ඇඳුමින් සැරසී පාසල වෙත පැමිණි ගුරුවරිය ද කවුරුන් හෝ තමන්ගේ ගෙල මිරිකූ බව පවසමින් රෝහල්ගත වී සිටියි.
සම්මුගම් බාලිකා විද්‍යාලය දෙමළ මාධ්‍ය පාසලක්වන අතර මුස්ලිම් ආගමික දැරියෝ 5%ක් පමණ එහි ඉගෙනුම ලබති. පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාව වනවිට එම විද්‍යාලයේ ඉගැන්වූ මුස්ලිම් ආගමික ගුරුවරියන් තිදෙනකුට ආගමික ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසත් සාරියකින් සැරසී පාසලට පැමිණෙන ලෙසත් ආරක්ෂක අංශවලින් ලැබුණු උපදෙස් මත විදුහල්පතිනිය විසින් දැනුම් දී තිබිණි. ඒ අනුව දින කිහිපයකට පසු මෙම ගුරුවරියන් තිදෙනා වෙනත් විද්‍යාලයට ඉගැන්වීම සඳහා අනුයුක්ත වී ඉවත්ව ගොස් තිබිණි.
ඉන් පසු ඊයේ දිනයේ ඒ අතරින් එක් ගුරුවරියක් නැවත ආගමික ඇඳුමක් ඇද පාසලට පැමිණ තිබිණි. පාසලේ ප්‍රකාශකයකු පවසන්නේ ඇය පාසලට පැමිණි අවස්ථාවේ දී විදුහල්පතිනිය ඇය කැඳවා පාසලේ ගුරුවරියන්ට එකම වර්ණයකින් ලබා දී ඇති සාරිය හැඳ පැමිණිය යුතු බවත්, ආගමික ඇඳුම් සිසුන් ඉගෙන ගන්නා ස්ථානයකට අනවශ්‍ය බවත් ඒවා ආගමික කටයුතු සඳහා යොදාගන්නා ලෙසත් දැනුම් දුන් බවයි. මේ අවස්ථාවේ දී එම ගුරුවරිය තම ජංගම දුරකථනයෙන් එම සිද්ධිය පටිගත කරමින් දැඩි විරෝධයක් දක්වා තිබේ.
එමෙන්ම මානව හිමිකම් සම්බන්ධ ආයතනයකින් ඇයට ආගමික ඇඳුම් ඇඳීමට අවසර ලබාදීමේ ලිපියක් ද ඇය ඉදිරිපත් කර තිබේ. අනෙක් ගුරුවරියන් ඉදිරිපත් වී මේ අවස්ථාව පටිගත කිරීමට දැඩි විරෝධයක් දක්වා ඇත. මෙය අනවශ්‍ය ආගමික ගැටලුවකට කිසියම් කෙනෙකු යොදාා ගැනීමට ඉඩ ඇතැයි පවසමින් විදුහල්පතිනිය ඇයගේ ජංගම දුරකථනයේ පටිගත කළ දර්ශන ඉවත්කරන්න යැයි දැනුම් දුන් අවස්ථාවේ දී ගුරුවරිය එය නොතකා ක්‍රියා කර තිබේ.
විදුහල්පතිනිය ඇගේ ජංගම දුරකථනයේ පටිගත කිරීම නැවැත්වීමට උත්සාහ ගැනීමේ දී ආගමික ඇඳුමින් සැරසුණු ගුරුවරිය විසින් විදුහල්පතිනිය පසෙකට තල්ලුකර දැමූ බවත් ඒ අවස්ථාවේ දී විදුහල්තිනිය විසිවී ගොස් බිම ඇද වැටුණු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
එම ඇදවැටීම හේතුවෙන් විදුහල්පතිනිය රෝහල්ගත කර ඇති අතර පොලිසියට ද සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබිණි. මේ අතර පසුව එම ස්ථානයෙන් ඉවත්ව ගිය එම ගුරුවරිය ද යමකු තමන්ගේ ගෙල මිරිකූ බව පවසමින් රෝහල් ගත ව සිටින්නීය.
මෙම සිද්ධියත් සමඟ පාසලේ දැරියන් ඊයේ (02) පෙරවරුවේ පාසලෙන් ඉවතට පැමිණ ඉදිරිපිට මාර්ගයේ උද්ඝෝෂණයක නිතර වූහ. අද (03) දිනයේ ද සිසු දැරියන් පාසලේ අධ්‍යාපන කටයුතුවලින් බැහැරව සටියි.
ත්‍රිකුණාමලය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, පාසල අවට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබේ.
(මංගලනාත් ලියනාරච්චි)



