spot_img
spot_imgspot_img

රුසියාව සහ යුක්රේනය අතර සීතල යුද්ධයේ අලුත් ම අවතාරයක් ?

පුවත්

විදෙස්

එම්.එස්.එම්.අයුබ් විසිනි

රුසියාව සහ එහි අසල්වැසි යුක්රේනය අතර වර්ධනය නොසන්සුන්තාවක් වර්ධනය වුව ද ජාතීන් දෙකේ ගැටුමක පෙරනිමිති දක්නට නැහැ. 1991 දී සෝවියට් සංගමය බිඳදවැටීමෙන් පසු අවසන් වූ බව කියන පැරණි සීතල යුද්ධයේ වර්තමාන අවතාරයක් ලෙස මේ තත්වය හැඳින්විය හැකියි. ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ප්‍රමුඛ බටහිර මාධ්‍ය පවසන ආකාරයට ඇත්තවශයෙන් ම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ අවධානමක් තිබෙනවා ද යන්න විමසා බැලිය යුතුවනවා.

ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වීම සඳහා තම හමුදා යුක්‍රේනයට උතුරින් බෙලරුසියාවට ඇතුළු වන බවට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් කරන ලද ප්‍රකාශයක් මත පදනම්ව රුසියාව යුක්‍රේන දේශසීමාවේ 100,000 භට පිරිස් එක්රැස් කර ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය ප්‍රකාශයන් පළ වී තිබුණා. ඒවායේ අනාවැකි පල කර ඇත්තේ දින කිහිපයකින් යුක්රේනයට රුසියානු ආක්‍රමණයක් ආසන්න බවයි.

රුසියානු හමුදා ක්‍රියාන්විතයක් ඇති විය හැකි බැවින්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්, ජනවාරි 24 වන විට  යුක්‍රේනයේ අගනුවර වන කියෙව්හි එක්සත් ජනපද තානාපති කාර්යාල සේවකයින්ගේ පවුල්වලට රට හැර යන ලෙස නියෝග කිරීමට පවා කටයුතු කළා. මේ අතර සමහර එක්සත් ජනපද රජයේ සේවකයින්ට පිටව යාමට අවසර දී තිබුණා මෙය ඇත්ත වශයෙන්ම එක්සත් ජනපද සංචාරක උපදෙස් යාවත්කාලීන කිරීමක්. එය යුක්රේනයේ COVID 19 වසංගතය හේතුවෙන් එහි සිටින එක්සත් ජනපද පුරවැසියන් සඳහා, ඉහළම මට්ටම වන හතර වන මට්ටමේ ක්‍රියාත්මක වීමේ නිවේදනයක්.

එක්සත් ජනපදය පසුගිය මාසයේ යුක්රේනයට අතිරේක ඩොලර් මිලියන 200 ක ආරක්ෂක ආධාරයක් ලබා දුන් අතර, යුක්රේන ආරක්ෂක හමුදාවන් සඳහා “මාරාන්තික ආධාර” ටොන් 90 ක් පමණ අඩංගු පළමු නැව්ගත කිරීම ජනවාරි 22 වන දින අගනුවට යවා තිබුණා. ඊට පසු දින ටොන් 80ක් වූ හමුදා උපකරණ තොගයක් ද ඇමරෙිකාවෙන් යුක්‍රේණයට යැවුණා.

පසුගිය දශක කිහිපය තුළ බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය විසින් සිදු කරන ලද සියලුම හමුදා ක්‍රියාන්වතවල දී තුළදී බොහෝ දුර්වල සටන් භූමි වලදී පවා, එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කර තිබෙනවා.  බ්‍රිතාන්‍යය ද සිය තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ සමහර සාමාජිකයින් යුක්‍රේනයෙන් ඉවත්කරගන්නා බව සඳුදා ප්‍රකාශ කිරීම මේ පුවත්වලට තවත් උත්තේජනයක්. නේටෝ හමුදාව ද ඇතිවිය හැකි ඕනෑම තත්වයකට සූදානමින් සිටින අතර පෙරදිග යුරෝපයේ  ස්ථානගත කිරීම සඳහා අමතර නැව් සහ ප්‍රහාරක ජෙට් යානා පවා යොමු කර ඇතැයි වාර්තා වෙනවා.

යුක්රේනයට හමුදා ආධාර යැවීමට පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ ඇතැම් රටවල් ඉදිරිපත් වී තිබෙනවා. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ට අනුව, බෝල්ටික් රටවල් තුනක්, එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව එක්සත් ජනපදයේ නිෂ්පාදිත යුද ටැංකි නාශක සහ ගුවන් යානා නාශක මිසයිල යුක්රේනයට යැවීමට සැලසුම් කර තිබෙනවා. රුසියාවේ එක් මැසිවිල්ලක් නම් බටහිරයන් තම ආරක්‍ෂක අවශ්‍යතාවලට එරෙහිව පැරණි සෝවියට් සංගමයේ රටවල් භාවිතා කරන බවයි.

එස්තෝනියාව යුක්රේනයට යුද ටැංකි නාශක අවි ලබා දෙන බවත්, ලැට්වියාව සහ ලිතුවේනියාව විසින් කියෙව් හි ආරක්ෂක හමුදා සන්නද්ධ කිරිම සඳහා ගුවන් යානා නාශක මිසයිල සහ අනෙකුත් අදාළ උපකරණ යවන බවත් ජනවාරි 22 දා බෝල්ටික් රටවල් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණා. මෙය තවත් වර්ධනය වෙමින්, කලක් නැගෙනහිර ජර්මනියට අයත්ව තිබූ සෝවියට් නිෂ්පාදිත හොවිට්සර් යානා යුක්රේනයට යැවීමට, හිටපු සමාජවාදී කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් වන එස්තෝනියාව ජර්මනියේ අනුමැතිය අපේක්ෂා කළා.

මෙය රුසියාවට එරෙහිව රුසියානු ආයුධ භාවිතා කිරීමක් ලෙස හැඳින්වීමට පුළුවන්.

මේ කරුණුවල හරය වන්නේ රුසියාව ඇත්ත වශයෙන්ම යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වන්නේද යන්න සහ එක්සත් ජනපදයේ සහ එහි මිත්‍රයින්ගේ ක්‍රියාවන් භූමියේ තත්වයට සමානුපාතික වන්නේද යන ප්‍රශ්නයයි. කියෙව්හි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩලය පමණක් ඉවත් කර ඇති අතර මහ කොමසාරිස් කාර්යාලය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බව ස්කයි නිවුස් ප්‍රකාශ කරනවා. රුසියාව ආක්‍රමණයේ “ඉතා බරපතල අවදානමක්” පවතින බව පවසමින්, බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩොමිනික් රාබ් ජනවාරි 23දා බීබීසීයේ ඉරිදා උදෑසන වැඩසටහනට පැවසුවේ තම රට නේටෝ මිත්‍රයෙකු නොවූ නිසා

 යුක්‍රේනය ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍ය හමුදා යැවීම “කිසිසේත්ම විය නොහැකි” යැයි යනුවෙනුයි.  

යුක්රේනයට එරෙහි රුසියාව ගන්නා ඕනෑම හමුදාමය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් එක්සත් ජනපදය යෝජනා කර ඇති සම්බාධක මට්ටමට අනුමැතිය දීමට සාමාජික රටවල් පසුබට වන හෙයින්, තත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ප්‍රතිචාරය එක්සත් ජනපදයේ ප්‍රකාශයන් පිළිබඳව සැක මතු කරනවා. ජනවාරි 24, යුරෝපීය සංගමයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන Josep Borrell කියා සිටියේ, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය එහි තානාපති කාර්ය මණ්ඩලය සමඟ ” නිශ්චිත හේතුවක් නොදන්නා නිසා එකම දේ කිරීමට යන්නේ නැත” යනුවෙනුයි.

රුසියාව එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ ආක්‍රමණ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති නමුත් යුක්‍රේන දේශසීමාවේ හමුදා රැස් කිරීම සහ මිලිටරි අභ්‍යාස සඳහා බෙලාරුස් වෙත හමුදා යැවීම පිලිබඳ වාර්තා ප්‍රතික්ෂේප කර නැහැ. මෙය තේරුම් ගත හැකි දෙයක්. රුසියාව සැබවින්ම ආක්‍රමණයකට සූදානම් වන්නේ නම්, ඔවුන්ගේ යුද ටැංකි කියෙව් වෙත ගමන් කරන තුරු එය පිළි නොගැනීමට සිදුවනවා.

යුක්රේන ආණ්ඩුව, එක්සත් ජනපදය සහ එහි සහචරයින් ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී රුසියානු ආක්‍රමණයක ප්‍රකාශ අවතක්සේරු කරමින් එහි ආරක්ෂකයින් අපහසුතාවයට පත් කළා.

යුක්රේනයේ ආරක්ෂක ඇමති එක්සත් ජනපදයේ හමුදාමය ආධාර සඳහා ස්තුති පළ කිරීමට අමතක කළේ නැහැ. කෙසේ වෙතත්, එහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඔලෙග් නිකොලෙන්කෝ පැවසුවේ “ඇමරිකානු පාර්ශවයේ එවැනි පියවරක් අකාලයේ සහ ඕනෑවට වඩා ප්‍රවේශම් වීමක් ලෙස අපි සලකමු” යනුවෙනුයි. තම රටේ දේශසීමාවේ ආරක්ෂක තත්ත්වයෙහි “රැඩිකල් වෙනසක්” සිදුවී නැතැයි ඔහු පවසනවා. මෙය සත්‍යයක් විය හැකි නමුත් මේ මොහොතේ මොස්කව් සන්සුන් කිරීමේ ප්‍රකාශයක් ද විය හැකියි.

මෙය විශාල බල අරගලයක්. එක්සත් ජනපදයට සහ රුසියාවට අවශ්‍ය වන්නේ යුක්‍රේනය ඔවුන්ගේ කලාපීය ආධිපත්‍යයේ දැති රෝදයක් බවට පත් කිරීමට. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ සහ යුගෝස්ලාවියාවේ හිටපු ජනරජයන් මෙන්ම නැගෙනහිර යුරෝපයේ පැරණි සමාජවාදී රටවල් 14 ක් නේටෝවට සම්බන්ධ වී සිටිනවා. රුසියාවට මෙම ප්‍රවණතාවය දිගටම පැවතීම වැළැක්වීමට අවශ්‍ය වන අතර මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කරන්නේ නැහැ.  යුක්රේනය නේටෝ හමුදා සන්ධානයට එක්වීම වැළැක්විය යුතු බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බටහිරට ඉල්ලීම් කර තිබුණා. රුසියානු අධිරාජ්‍යයේ සහ සෝවියට් සංගමයේ කොටසක් වන සහ අද මොස්කව්හි “බලපෑමේ ක්ෂේත්‍රය” තුළ, ඔහු “ඓතිහාසික රුසියාව” ලෙස හඳුන්වන දෙයෙහි දිගුවක් ලෙස පුටින් යුක්රේනය දකිනවා. කෙසේ වෙතත්, එක්සත් ජනපදය තර්ක කරන්නේ ඔවුන්ගේම සහචරයින් තෝරා ගැනීමට රටවලට අයිතියක් ඇති බව කියමින්.

රුසියාවට නැගෙනහිර යුරෝපයෙන් නේටෝ ආයුධ අවශ්‍ය වනවා, යුරෝපයේ අතරමැදි මිසයිල තහනම් කිරීම – ඇත්ත වශයෙන්ම, ට්‍රම්ප් පරිපාලනය විසින් 2019 දී අතහැර දැමූ සීතල යුද්ධ යුගයේ ගිවිසුමක් නැවත ස්ථාපිත කිරීම. දැනටමත් 15,000 කට අධික පිරිසක් ඝාතනය කර ඇති නැගෙනහිර යුක්රේනයේ හමුදාව සහ රුසියානු හිතවාදී බෙදුම්වාදීන් අතර සටන අවසන් කිරීමට අවශ්‍යතාවක් තිබෙනවා.  මේ කරුණු සම්බන්ධයෙන් යුක්රේනය සිය වගකීම් ඉටු කළ යුතු බව 2015 ගිවිසුමේ පැවසෙනවා. බටහිර රාජ්‍යයන්ගේ තර්කය වන්නේ මෙම ඉල්ලීම් කලාපයේ ස්වාධීන රටවල ස්වෛරී අයිතීන් උල්ලංඝනය කරන බවයි.

එවැනි පසුබිමට එරෙහිව, අනෙකුත් බලවත් ජාතීන්ට මෙන්ම රුසියාවටද අවශ්‍ය වන්නේ අසල්වැසි රටවල තම ප්‍රතිපත්ති සහ ක්‍රියාවන්ට සහාය දක්වන නායකයින් සිටීමයි. අවධානය යොමු විය යුත්තේ එසේ කිරීමට එකඟ නොවන රටවලට දඬුවම් කිරීමට යෑමයි. 2014 දී වීදි විප්ලවයකින් යුක්රේනයේ රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච් නෙරපා හැරීමෙන් පසුව, එම වසරේ අගභාගයේ දී රුසියාව යුක්රේනයේ දකුණේ අර්ධද්වීපයක් වූ ක්‍රිමියාව ඈඳා ගත්තා. බටහිර සන්ධානයට බැඳීමට යුක්රේනයේ ඇති ආශාව ද සිවිල් යුද්ධයක් අවුලුවාලමින් රටේ නැගෙනහිර ඩොන්බාස් කලාපයේ බෙදුම්වාදීන්ට රුසියාව අනුග්‍රහය දැක්වීමට හේතු වූ බව පැහැදිළි දෙයක්.

බෙලරුස්, රුසියාවට කේක් කනවා වැනි පහසු කාර්යයක් වී තිබෙනවාි. 2020 අගෝස්තුවේ මහජන විරෝධතාවල සිට, රටේ නායකයා වන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කාගේ බලය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ ඔහුගේ ආරක්ෂක හමුදාවන්ට අමතරව ක්‍රෙම්ලිනයේ සහයෝගය මතයි. ඔහු පුටින්ට එතරම් පක්ෂපාතී වන අතර රුසියානු න්‍යෂ්ටික අවි බෙලරුසියාවේ ස්ථානගත කරන බවට තර්ජනය කර තිබෙනවා. අවශ්‍ය නම් යුක්රේනයට එරෙහිව සටන් කරන බවට පොරොන්දුක් ද දුන්නා. ඛනිජ තෙල්වලින් පොහොසත් රටක් වන කසකස්තානයේ, ජනවාරි මුලදී උත්ප්‍රාසාත්මක ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව ඇති වූ ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වූයේ ප්‍රධාන වශයෙන් රුසියාවේ හමුදා විසින්.

සාරාංශයක් ලෙස කිව හැක්කේ බටහිරයන් රුසියාව හුදකලා කිරීමට පියවර ගන්නා බවයි, පැරණි සෝවියට් කඳවුරේ රටවල් නේටෝවට ඇතුළත් වීම වැළැක්වීමට සහ කලාපයේ නායකයා වීමට රුසියාවට අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නැහැ. කලාපයේ රටවල විවිධ ගැටුම් වල දී මෙම බලවතුන් දෙදෙනාගේ අවශ්‍යතා ගැටුම ඉඳහිට ඒ ඒ රටවලට බලපෑම් කරනවා. මෙවර එය යුක්රේනය දෙසට යොමුවුණා. යුද්ධයක් ඇති වුවහොත් එහි වන්දිය ගෙවන්නට සිදුවන්නේ යුක්රේන ජනතාව මිස බටහිර රටවල් හෝ රුසියාවට නොවේ.

බටහිරයන් තම රට දුර්වල කිරීමට හැකි සෑම දෙයක්ම කරන බව 1991 සෝවියට් සංගමය බිඳ වැටුණු දිනයේ සිට රුසියානු නායකයින් දැන සිටියා. එබැවින් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු රුසියාව පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වාධීන රාජ්‍යයන් (CIS) නමින් හැඳින්වෙන රටවල් සන්ධානයක් ප්‍රකාශයට පත් කළා.

එම කාලය තුළම රුසියාව විසින් තෝරාගත් පශ්චාත්-සෝවියට් රාජ්‍යයන්ගෙන් සමන්විත යුරේසියාවේ සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානය (CSTO) නම් අන්තර් රාජ්‍ය හමුදා සන්ධානයක් පිහිටුවීමට නායකත්වය ලබා දුන්නා. මේ මාසයේ කසකස්තානයේ ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා යොදවන ලද්දේ CSTO හි ප්‍රධාන වශයෙන් රුසියාවේ සොල්දාදුවන් පමණක් නොව සාමාජික රටවල් වන බෙලරුස්, කිර්ගිස්තානය, ආර්මේනියාව සහ ටජිකිස්තානය යන රටවල 2,500ක ශක්තිමත් භට පිරිසක් සිටියා. අසල්වැසි රටවල තම අභිප්‍රායයන්ට පක්ෂපාතී නායකයින්ට එරෙහිව තර්ජන එල්ල කිරීමට රුසියාව ඉඩ නොදෙන බව ද මෙම සිදුවීම පැහැදිළි සාක්ෂියක්.

බොහෝ නිරීක්ෂකයින් පවසන්නේ රුසියාව ප්‍රමුඛ සමාජවාදී කණ්ඩායම බිඳවැටීමෙන් පසු ලෝකය ඒක ධ්‍රැවීය බවයි. මෙම සිදුවීම කලාපීය බල ගතිකත්වය දෙස බැලූ විට, මැද-පෙරදිග, බෝල්කන්, යුරේසියාව, යුරෝපය හෝ ආසියාව යන සියල්ලට බලපාන්නක් බව තහවුරුයි. එසේනම් මේ ලෝකයම නොවේද ?

ලේඛකයා

මැදපෙරදිග සහ දකුණු ආසියානු කලාපයේ දේශපාලන පිළිබඳ විශේෂඥයකු වන අතර ජාත්‍යන්තර කටයුතු පිළිබඳ තීරු ලිපි රචකයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර අති මාධ්‍යවේදියෙකි.

ඔහු හා සම්බන්ධවීමට  [email protected]   

මෙම ලිපිය Factum ආයතනය විසින් සපයනු ලැබූවකි

Factum යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්චනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!