ගාල්ල නගරයේ සැරිසරන උමතුබවට පත්වූ පුද්ගලයන් දෙදෙනකු හේතුවෙන් නගරයට එන පුද්ගලයන්ට සහ නගරයේ ව්‍යාපාරිකයන්ට දැඩි කරදරකාරී තත්වයක් හටගෙන ඇත.
මෙම පුද්ගලයන් දෙදෙනා ම ගාල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළ සහ ඒ අවට සැරිසරන අතර නිරන්තරව ම පරුෂවචනයෙන් බැන වදිමින් අශෝභන ලෙස හැසිරෙයි. එක් පුද්ලයකු තරුණ කාන්තාවන් පසුපස පන්නා යන අතර තම ඇඳිවත ඔසවා කාන්තාවන්ට නිරුවත පෙන්වන අවස්ථා ද තිබේ. එමෙන්ම පාසල් දැරියන් පසුපස ගොස් ඔවුන්ට අයුතු යෝජනා කරන අවස්ථා ද ඇති බව ගාල්ලලේ ව්‍යාපාරික ප්‍රජාව චෝදනා කරයි.
තවත් උමතු පුද්ගලයකු නිරන්තරව ම ව්‍යාපාරිකයන්ට සහ නගරයේ සැරිසරන පුද්ගලයන්ට බැන වදිමින් තර්ජනය කරමින් කටයුතු කරන අතර ඔහු රාත්‍රී කාලයේ දී ඇතැම් ව්‍යාපාරික ස්ථානවල දොරෙහි අසූචි උලන බවට ද චෝදනාවක් ඇත.
මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැන අප ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීරගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.
“මට ව්‍යාපාරිකයන් මේ ගැන කීවා. මම ඒ අයට පැහැදිලි කරලා දුන්නා ඔය කාරණය මට අදාල නැති බව. මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.”
උමතු පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත්තේ 1873 මානසික සෞඛ්‍ය පනත යටතේය. එ් සඳහා 1956 දී සංශෝධනයක් ඉදිරිපත් කර ඇති අතර 2007 දී නව පනතක් කෙටුම්පත් කර ඇතත් එය මෙතෙක් සම්මත කර නැත.
මේ පනත අනුව යම් ප්‍රදේශයක උමතු පුද්ගලයකු සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලයලත් නියෝජිතයා වන්නේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාය. ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දී ග්‍රාම නිලධාරීවරයාට පොලිසියේ සහය ඇතිව එවැනි පුද්ගලයකු අල්ලා ළඟම ඇති රෝහලක මනෝ වෛද්‍ය ඒකකයට භාරදීමේ හැකියාව ඇති අතර එවිට අදාල රෝහල විසින් එම රෝගියා අංගොඩ මානසික රෝහල වෙත යොමුකිරීම සිදුකරයි. නැතිනම් ග්‍රාම නිලධාරීවරයාට මේ බව පොලිසියට දැනුම් දී මානසික සෞඛ්‍ය පනත යටතේ ළඟම ඇති අධිකරණයට කරුණු වාර්තා කර උමතු පුද්ගලයා ප්‍රතිකාර සදහා යොමුකිරීම, රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකිරීම හෝ බන්ධනාගාර ගත කිරීම සිදුකළ හැකිය.
ගාල්ලේ ව්‍යාපාරිකයන් පවසන්නේ මේ සම්බන්ධයෙන් කොතෙක් පැමිණිලි කළ ද නිලධාරීන් ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.