spot_img
spot_imgspot_img

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උදව් ගන්නා බව, බැසිල් ජාත්‍යන්තර මාධ්‍යයට කියයි

පුවත්

විදෙස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු නොකරන බව මෙතෙක් පැවසූ රජයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සඳහා සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මාධ්‍යවෙත පවසා තිබේ.

ඔහු ඒ බව කියා ඇත්තේ ලන්ඩන්හි ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ වසරේ ගෙවීමට ඇති ඩොලර් බිලියන 6.9ක ණය ගෙවීම දුෂ්කර කාර්යයක් වී ඇති බවත් අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්දන සොයාගැනීම ගැටලුවක් වී ඇතිබවත් මුදල් අමාත්‍යවරයා එහි දී පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මේ වසරේ ගෙවීමට නියමිතව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට අදාළ ණය සම්බන්ධයෙන් සහනයක් ලබාගැනීම සඳහා එම බැඳුම්කරහිමියන් සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් සහනයක් ලබාගෙන ණය පැහැරහැරීමේ චෝදනාවෙන් වැළකී සිටීමට උත්සාහ ගන්නා බවයි.

මෙහි දී සියලු විකල්ප සඳහා රජය උත්සාහ කරන බව ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද වැඩපිළිවෙලකට යාම සඳහා සාකච්ඡා කරගෙන යන බව ද අමාත්‍යවරයා ලන්ඩන් ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව සමඟ පවසයි.

එම සඟරාව පෙන්වා දෙන්නේ බෙලීස් රාජ්‍යය, සැම්බියාව සහ ඉක්වදෝරය වැනි රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද බැඳුම්කර ණය පැහැර හරින රටක් බවට පත්වනු ඇතැයි බො‍හෝ ආර්ථික විශේෂඥයන් විශ්වාසය පළකරන බවයි. මේ ඛේදජනක තත්වයෙන් මිදීමට සඳහා ඉන්දියාවෙන් සහ චීනයෙන් අමතර ආධාර ලබාගැනීමෙන් සහ සංචාරක ක්ෂේත්‍රය මෙන්ම අපනයන ක්ෂේත්‍රය ද දියුණු කිරීමෙන් විදේශ මුදල් සංචිතය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව ද එම සඟරාව පෙන්වා දෙයි.

https://www.ft.com/content/21217f9e-9c4c-4483-968c-25433e62d9c0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!