බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බයක් ගෙනවිත් තැබූ පුද්ගලයා එය සිදුකර ඇත්තේ රුපියල් 50,000.00ක මුදලකට බව පොලිසිය පවසයි.
ඇඹිලිපිටියේ පනාමුරේ දී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පවසා ඇත්තේ බෝම්බ තැබීම සඳහා කිසියම් පුද්ගලයකු තමන්ට මුදල් ලබාදුන් බවයි.
මෙතෙක් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැත.
මෙම බෝම්බය අත්බෝම්යක් වුව ද එය යම් නිශ්චිත කාලයක දී පුපුරායාමට සැකසූ බෝම්බයක් බව ද පරීක්ෂණවලින් හෙළි වී තිබිණි.
දේවස්ථානයට පැමිණි අයකු දේවස්ථානයේ ප්‍රධාන දොරටුවට දකුණු පසින් පිහිටි සුරුවම අසළ තිබූ මෙම බෝම්බය දැක ඒ බව පැවසීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණ එය නිශ්ක්‍රිය කළේය.
බෝම්බය හමුවූ 11 වැනි දා ම සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් පොලිසිය කියා සිටියේ මෙම බෝම්බය තබා ඇත්තේ දේවස්ථානයේ ම සේවය කළ තැනැත්‍තකු බවයි. බෝම්බය නිශ්චිත කාලයක දී පුපුරායන ලෙස සැකසීමට යොදාගත් ගිනිපෙට්ටි සහ ඇලවුම් පටි ඔහු සන්තකයේ තිබී සොයාගත් බව ද පොලිසිය ප්‍රකාශ කියුවේය.
නමුත් සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේ දී සැකකටයුතු පුද්ගලයකුගේ පැමිණීම නිරීක්ෂණය වන බවත් පොලිසිය නිසි පරිදි රාජකාරී නොකරන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් ප්‍රකාශ කළ අතර එය ආන්දෝලනාත්මක පුවතක් ද විය. අගරදගුරු වැඩිදුරටත් කියා සිටියේ සැබෑ අපරාධකරු සොයාගැනීම පොලිසිය විසින් මගහරින බවයි.
මෙම ප්‍රකාශය සමඟ පූජකවරුන් සහ පොලිසිය විෂය භාර අමාත්‍ය සරත් වීරසේකර සහ පොලිසිය අතරත් මතවාද රැසක් ඇතිවිය.
මේ වනවිට පොලිසිය විසින් බෝම්බය තැබුවේ යැයි සැකපිට වෙනත් තවත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.