-4.8 C
New York

ඩොලර් නැතිව විදුලි අර්බුදය වඩාත් දරුණු වෙයි. ඇමතිවරු විවිධ කතා කියති

Published:

ඉන්ධන රැගෙනවිත් නැංගුරම්ලා තිබෙන නැව්වලට අවශ්‍ය ඩොලර් ගෙවීම සිදු නොකළහොත් ඉදිරි දින කිහිපයේ දී පැය 12ක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි ඒකබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.

මේ හේතුවෙන් මෙරට කර්මාන්තශාලා 50%කට වැඩි ප්‍රමාණයක් වැසී යාමෙන් අර්බුදය තවත් වැඩි වනු ඇතැයි ද හෙතෙම කීවේය.

“දැනට ශ්‍රී ලංකාව ආසන්නයට ඇවිත් තිබෙන ඉන්ධන නැව්වලට අවශ්‍ය ගෙවීම් ඩොලර්වලින් නොකළොත් රටේ තත්වය ඉතාමත් දරුණු වේවි. දුම්රිය ධාවනයට පවා මේ වනවිට ඉන්ධන ප්‍රමාණවත් නැහැ. තවදුරටත් ඉන්ධන ලබාගත නොහැකි වුවහොත් දුම්රිය ධාවනය නවතා දැමීමට පවා සිදුවිය හැකියි. අපි මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා දැනට දින කිහිපයක සිට නැංගුරම්ලා තිබෙන නැව්වලට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස මහ බැංකුවට නියෝග කරන්න කියා.” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.  

මේ අතර විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියේ හෙට (18) දිනය දක්වා අවශ්‍ය තෙල් තොග විදුලිබල මණ්ඩලයට ලැබී ඇති බැවින් හෙට දිනය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට හැකියාව තිබෙන බවයි.

ලබන 22 වැනි දා දක්වා ‍අවශ්‍ය ඉන්ධන ලබාගැනීම තෙල් සංස්ථාව සමඟ සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා කීවේය. ඉන්ධන නොලැබෙන්නේ නම් විදුලිය විසන්ධිකිරීමට සිදුවනු ඇතැයි ද ඔහු පවසයි.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිල පවසන්නේ විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට තෙල් ලබාදෙන්නේ ඩොලර්වලින් ගෙවීම් සිදුකරන්නේ නම් පමණක් බවයි.

නමුත් ලංකා විදුලිබල මණ්ඩලයට ඩොලර්වලින් ආදායම් ලැබෙන්නේ නැත.

Related articles

Recent articles

spot_img