spot_img

බැංකු විභාගය, රජයේ නිලධාරීන් විසින් අවුල්ජාලයක් කරයි. විභාගය නීති විරෝධී වෙයි ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ආයතනගත විභාග හැර අනෙකුත් සියලුම ආකාරයේ විභාග පැවැත්වීමේ දී ශාලාධිපතිවරු, නියෝජ්‍ය ශාලාධිපතිවරු සහ විභාග නිරීක්ෂකයන් ලෙස විදුහල්පතිවරු සහ ගුරුවරු යෙදවිය යුතුයැයි නියමයක් පැවතිය ද සති අන්තයේ සෙනසුරාදා (15) සහ ඉරිදා (16) පැවැත්වීමට නියමිත බැංකු විභාගයට කළමනාකරණ සේවයේ නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් යෙදවීමට පළාත් සභා කිහිපයක් කටයුතු කර තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ විභාග ක්‍රමවේදය අනුව බරපතල ගැටලුවකි.

මධ්‍යම පළාතේ පැවැත්වෙන බැංකු විභාග සඳහා පළාත් සභාවේ කළමනාකරණ සහ සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරී නිලධාරිනියන් යොදවා ඇති අතර පසුගිය සතියේ කැලණිය විශ්වවිද්‍යාලයේ විභාගය සඳහා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද එලෙසම නීතියට පටහැනිව යමින් විභාග වැඩ සඳහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට අමතරව එවැනි නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබිණි.

මේ අනුව නීතිවේදීන් පවසන්නේ සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වෙන බැංකු විභාගය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයකු යම් අවස්ථාවක දී මෙම විභාගය නීති විරෝධී බව පවසමින් නීතිය ඉදිරියේ එය අභියෝගයට ලක්කළ හොත් බරපතල ගැටලුවක් ඇතවන බවයි.

මේ සම්බන්ධයෙන් විස්තර විමසීමට අදාල විභාගය පවත්වන ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයට ඇමතුමක් ගත් විට එහි ප්‍රකාශිකාවක් කියා සිටියේ විභාග ක්‍රමවේදය පිළිබඳ තමන් නොදන්නා බවයි. නමුත් ගුරුවරු සහ විදුහල්පතිවරු පමණක් ඒ සඳහා යොදාගන්නා බවනම් දන්නා බව ද ඇය කියා සිටියාය. මේ ගැන වැඩි විස්තර දැනගැනීමට එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලේකම්ගේ දුරකථන අංක ලබාදුන්නාය.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලේකම්වරියට ඇමතූ විට ඇය අපට අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරදෙන්නේ නැත. ඇය විමසන දෙයට සවන් දෙන්නේ ද නැත. විභාග අංශයට කතා කරන්නයි ඇය කීව ද විභාග අංශයේ දුරකථනයට ඇමතුම් ගැනීමට හැකියාවක් නැත.

‍සැ.යු.

මෙම පුවත සම්බන්ධයෙන් කිසියම් ආයතනයකට හෝ පුද්ගලයකුට අගතියක් වී ඇතැයි හැඟෙන්නේ නම් ඔවුන්ගේ අදහස් ද මේ හා සමාන වූ ඉඩක් ලබාදෙමින් පළකරනු ලබන බව දන්වා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles