ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුදයක් කර ගමන් කරමින් තිබේ. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය විශාල ගැටලුවක් වී ඇති අතර ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය ජාත්‍යන්තරව පිළිගන්නා මුදල් සංචිත නොමැතිවීම හේතුවෙන් රට බංකොලොත් තත්වයට පත්වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කතිකාවක් ගොඩනැගී ඇතත් ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකුට අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැත. ශ්‍රී ලංකාව බංකොලොත් වනු ඇතැයි කියන අය ද බංකොලොත් වූ විට සිදුවන දේ ගැන සැබෑ වැටහීමකින් ඒ බව කියන්නේ නැත.
රටක් බංකොලොත් වනවිට සිදුවිය හැකි දේ ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණි.
මිනිසකු හෝ ආයතනයක් බංකොලොත්වීම ගැන අපි කොතෙකුත් දැක ඇතත් රටක් බංකොලොත්වීම ගැන අපට අත්දැකීමක් නෑ. කෙනෙක් හෝ ආයතනයක් කිසිම මුදලක් නැතිව, ණය වී බංකොලොත්ව තිබෙන අවස්ථාවක පිටස්තර පුද්ගලයෙක් ඇවිත් කාර්යාලය, නිවස, ඉඩම වැනි දෙයක් ලියාගෙන ණයක් දුන්නොත් බංකොලොත්වීමෙන් වැළකී ගැලවෙන්න පුළුවන්.
අපේ රටටත් දැන් වෙලා තියෙන්නේ එවැනි දෙයක්. ඉතාමත් ඉක්මණින් කන්න අවශ්‍ය කෑම ටික, ජීවත් වෙන්න අවශ්‍ය බෙහෙත් ටික අපිට ගන්න බැරි වෙනවා. ගන්න සල්ලි නෑ. ඒ නිසා මේ වෙලාවේ අපේ පාලකයන් ලෝකය වටේම යනවා සල්ලි හොයන්න. ඒ වගේම ඉන්දියාව, චීනය වගේ රටවල් සමඟ ගිවිසුම් අත්සන් කරලා මුදල් ගන්න උත්සාහ ගන්නවා. මේ යම් කිසි විදියකින් අවශ්‍ය මුදල් ලැබුණොත් අපි බංකොලොත් වෙන්නේ නැහැ. නමුත් එසේ නොලැබුණොත් බංකොලොත් වෙනවා.
බංකොලොත් වූ රටවල් ලෝකයේ තිබෙනවා. මෑතක දී එසේ බංකොලොත් වූ රටක් තමයි වෙනිසියුලාව. තෙල් නිසා සැළකිය යුතු ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියූ වෙනිසියුලාව බංකොලොත් වුණා.
අපේ රටේ මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපිියල්. මේ වනවිට අපේ රුපියලේ අගය පිරිහෙනවා. ඒක ඉතාමත් වේගයෙන් සිදුවන දෙයක්. බංකොලොත් වෙමින් තිබෙන රටක ප්‍රධානම ලක්ෂණයක් තමයි මුදල් ඒකකය වේගයෙන් පිරිහීම.
ඒ වගේම අපිට නියමිත වෙලාවට ණය ගෙවාගන්න බැරිවීමත් බංකොලොත් වීමේ ලක්ෂනයක්. දැනට තියෙන ණය අතරින් සෑම අවුරුද්දකම ඇමෙරිකානු ඩොලර් බිලියන 4-5ක් ණය ගෙවන්න තියෙනවා. ඒක අවුරුද්දේ මුල් කාලයේ කරන්න ඕන දෙයක්. අපිට මේ වගේ ණය ගෙවන්න 2007 දී මහ බැංකුව බැඳුම්කර වෙළෙඳ පොළ විවෘත කරමින් පටන්ගත්තා. ඊට පස්සේ අපි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර විකුණන්න පටන් ගත්තා. එවැනි දෙයක් මුලින්ම කළේ 2007 දී. එදා ඇමෙරිකානු ඩොලර් මිලින 500ක බදුකරයක් විකුණුවා. දැන් 2019 වනවිට එය ඇමෙරිකානු ඩොලර් 17,500ක් දක්වා වැඩි වෙලා. මේ ජාත්‍යන්තර වෙළෙඳ පොළ ණය ගැනීම් විතරයි. පටන් ගත්තේ මිලියන 500කින් එය අවුරදුු 5කින් නැත්නම් 10කින් කල් සම්පූර්ණ වෙනවා.
වාණිජ ණයක් ගත්තාම ඒ ණය මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් කිසිම කොන්දේසියක් නෑ. ඕනෑම දේකට වියදම් කරන්න පුළුවන්. හෝටල්වලට ගෙවන්න, පිටරට සවාරි යන්න, වෙනත් ව්‍යාපාරවලට යොදවන්න. ඒ නිසා අපේ රටේ පාලකයෝ කොන්දේසි තියෙන තැන්වලින් ණය ගන්න කැමති නෑ. කොන්දේසි සහිත ණය හෝ ආධාර ගන්න අපේ පාලකයන් කැමති නෑ. MCC ගිවිසුම අනුව ආධාර ගත්තනම් ඒවයින් තමන්ට සතුටු වෙන්න බෑ. ප්‍රවාහනය දියුණු කරන්න ඕන. ඉඩම් ලියාපදිංචිය පරිගණකගත කරන්න ඕන. නමුත් ඒ කොන්දේසිවලට කැමති නෑ. ඒ වගේම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන්නේ. 2009 සහ 2016 වර්ෂවල අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගත්තා. ඒ අවස්ථා දෙකේදිම රටේ ප්‍රතිපත්ති, ප්‍රතිසංස්කරණ ඇතිකිරීම්, අයවැය පරතරය විසඳා ගැනීමට කොන්දේසි ඉදිරිපත් කළා. නමුත් මේ කොන්දෙසි නිසි පරිදි පිළිපැද්දේ නැති නිසා අවසන් ණය වාරික ශ්‍රී ලංකාවට ලැබුණේ නැහැ. අවසන් වාරිකය 2019 දී ලැබෙන්න නියමිතව තිබුණත් ඒ මුදල් අපිට අහිමි වුණා.
රුපියලේ අගය වේගයෙන් පිරිහීම මේ වනවිටත් සිදුවෙමින් පවතී. මේ වනවිට ඩොලරය රුපියල් 200.00 ඉක්මවා ගොස් ඇති නමුත් එය මෙරට රජය විසින් බලෙන් රඳවාගෙන සිටිනවා. එසේ වුව ද කළු කඩ මිල අනුව ඩොලරය රුපියල් 240.00 ඉක්මවා තිබෙනවා. මේ ආකාරයට ගියොත් ඩොලරයක් රුපියල් 400.00 පමණක් නොවෙයි 1,000.00 ක් දක්වා ඉහළ යාමට පුළුවන්. මෙය වෙනිසියුලාවේ ද දක්නට ලැබුණු තත්වයයි.
බැංකුවෙන් ඩොලර් ගන්න ගියොත් අපි හැමෝටම ගන්න බැහැ. නමුත් සමහර අයට ගන්න පුළලුවන්. වෙනිසියුලාවෙත් සිදු වූ දෙයක් තමයි ඩොලර් ගන්න පුළුවන් අය බැංකුවෙන් ඩොලර් අරගෙන කළු කඩයට අධි මිලට විකුණලා නිකන්ම ලාභයක් උපයනවා. මේක හැමෝටම කරන්න බැහැ. නමුත් වෙනිසියුලාවේ සිදුවුණා. එහෙම වෙන්නේ පාලකයන් ඩොලර් මිල බලෙන් රඳවාගෙන සිටීම. දැන් අපේ රටත් ඒ තත්වයට ම පත්වෙලා. ඇතැම් පුද්ගලයන් එක දවසින් කෝටිපතියන් බවට පත්වෙනවා. ඔවුන් කරන්‍නේ ඒ සල්ලි දීලා නැවත බැංකුවෙන් ඩොලර් අරගෙන ඒවා නැවත විකුණනවා. ඔය විදියට කරවිට විනිමය අනුපාතිකය දිනෙන් දින පිරිහෙනවා.
දෙවනුව සිදුවන දේ තමයි උද්ධමනය වේගයෙන් ඉහළ යාම. රටේ භාණ්ඩ සහ සේවවාල මිල බලාගෙන සිටිය දී වැඩි වෙනවාව. තේ එකක් බොන්න ඇණවුම් කරන විට රුපියල් 50.00යි. බිල ගෙවනවිට රුපියල් 100.00යි. හාල් කිලෝ ග්‍රෑමයක් අද රුපියල් 125.00යි හෙට 300.00යි. තව සතියකින් රුපියල් 1,000.00ක් වෙන්න පුළුවන්. මේ විදියට හැම භාණ්ඩයක් ම සේවාවක් ම මිල වැඩිවෙනවා. එ් විදියට මිල වැඩවුණාම කළු කඩයක් ඇති වෙනවා. මිනිස්සු භාණ්ඩ සඟවා ගන්නවා. අධි මිලට විකුණනවා. අළෙවි කටයුතු සහ සේවා සැපයීම් සියල්ල අවුල් ජාලයක් බවට පත්වෙනවා.
මෙවැනි තත්වයක දී මිනිසුන් සතුව සල්ලි තිබුණට වැඩක් නෑ. ඒ නිසා වැඩි පිරිසක් විදේශ ගතවෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රට බංකොලොත් වේවි කියලා හිතන අය තමන්ගේ වත්කම් පිටරට අරගෙන යනවා. දරුවන් ඉන්නේ පිටරට. ගෙවල් දොරවල් තියෙන්නේ පිටරටවල. ව්‍යාපාර කරන්නෙත් ඒ රටවලමයි. ඒ විතරක් නෙවෙයි පුරවැසිකමත් ගන්නවා. මේ රට ගැන කතා කර කර වෙන රටකට අඩිය තියාගෙන ඉන්නවා.
වෙනිසියුලාවේ දක්නට ලැබුණු දෙයක් තමයි එරට ජනතාව බුරුතු පිටින් රටෙන් පිටවෙන්න උත්සාහ ගැනීම. යමක්කමක් තිබුණු අය වාහනවලින්, ලොරිවලින්, බස්වවලින්, කාර්වලින් පිටවුණා. නමුත් අපේ රට දූපතක් නිසා එහෙම කරන්න බෑ. අපේ විශාල පිරිසක් දැන් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් විදේශ ගමන් බලත්‍ර සකසා ගන්නවා. මේ වගේ තත්වයක් තුළ කෙනෙක් රුපියල් 100,000.00ක් පඩි ගත්තත් ඒ සල්ලිවලින් කරන් දෙයක් නැති වෙනවා. දවසක් ජීවත් වෙන්න රුපියල් 100,000.00 ක් අවශ්‍ය වෙන තත්වයට අපේ රට පත්විය හැකියි.
වෙනිසියුලාවේ මිනිස්සුන්ට සල්ලිවලින් වාහනයක් තියා පොදු ප්‍රවාහන ටිකට් එකක්වත් ගන්න බැරි තත්වයට පත්වුණා. ඒ නිසා ඒ රටේ ඉදලා අසල්වැසි රටවලට බෑග් ඔළුව උඩ තියාගෙන පයින්ම මිනිස්සු පලා ගියා. යුද්ධයකින් බේරිලා පලා යනවා වගේ. ජනතාවගෙන් ¾ක් අනාත වුණා.
අපිටත් ඒ වගේම වෙන්න පුළුවන්. වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4-5 ණය ගෙවාගන්න බැරි තත්වයක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. අපිටත් වෙනිසියුලාවට සිදු වූ දේ ම සිදුවේවි. අවසානයේ ඉතිරි වෙන්නේ ගහකින් ගෙඩියක් කඩගෙන කාල ඉන්න පුළුවන් අසරණ මිනිස්සු විතරයි. අඩුම ගානේ මිලියන 22ක ජනගහනයෙන් මිලියන 15ක් ඉතිරිවේවි. මේ තමයි බංකොලොත් වීම කියන්නේ.
රස්සාවල් නෑ. කන්න බොන්න නෑ. මිනිස්සු තැන තැන වැටිලා ඉන්නවා. ව්‍යාපාරිකයන් රට හැර ගිහින්. රටට විදේශ විනිමය එන්නේ නෑ. භාණ්ඩ ආනයනය කිරීමක් නෑ. ඉන්ධන නෑ. විදුලිය නෑ. දැනටමත් ඒවා නැති වෙමින් තිබෙන බව ඔබටත් මටත් හොඳින් පෙනෙනවා.
මේ තත්වයට රටක් වැටුනමා නැගිටීම මුල සිට නැත පටන්ගන්න වෙනවා. නමුත් මේ පරම්පරාවල් සමඟ එය ඉතාමත් අමාරුයි. රට නැවත නගා සිටුවන්න ගතවන කාලය හිතාගන්න බැරි වේවි.