-5.2 C
New York

දුප්පතුන් හූරා කන රාජ්‍ය ආයතන. කොරෝනා සහන ධනපතියන්ට පමණ ද ?

Published:

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දී ඇති නිවාස ණය අයකරගැනීම් කඩිනම් කිරීමට හා එම ණය කරුවන්ට එරෙහිව නඩු පැවරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ.

වසර දෙකකට ආසන්න කාලයක් සියලු ආදායම් අහිමිව දෛනික ආහාර අවශ්‍යතාව හෝ සපයා ගැනීමට නොහැකිව සිටින අඩු ආදායම් ලාභීන් පවසන්නේ මෙය රජයෙන් සිදුකරන ඉතාමත් අසාධාරණ ක්‍රියාවක් බවයි.

ව්‍යාපාර අවස්ථාවන් අහිමි වූ බව කියමින් කෝටිපති ව්‍යාපාරිකයන්ට සියලු බැංකුවලින් සහ රාජ්‍ය ආයතනවලින් හැකිතරම් සහන ලබාදෙමින් තිබිය දී තමන් වැනි දුප්පත් ජනතාවට මෙලෙස සිදුකිරීම ඉතා ඛේදජනක තත්වයක් බවත් ඔවුහු කියති.

මේ වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් එවැනි අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට ලබාදුන් නිවාස ණය ආපසු කඩිනමින් අයකරගැනීට අදාල අවසන් නිවේදන නීතිඥවරුන්ගේ මාර්ගයෙන් යවා තිබේ.

එම නිවේදනවල දැක්වෙන්නේ 2021 නොවැම්බර් මාසය දක්වා වූ හිඟමුදල් එකවර ගෙවා දැමිය යුතු බවයි. එසේ නොගෙවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බවත් ඇපකරු රජයේ සේවකයකු නම් ඔහුගේ හෝ ඇගේ වැටුපෙන් ණය අයකරගැනීමට කටයුතු කරන බවත් දැනුම් දී තිබේ.

(නඩු පැවරීමේ ලේඛන රැසක් අපගේ rata.lk වෙබ් අඩවිය වෙත ලැබී ඇතත් ඔවුන්ගේ අනන්‍යතාව හෙළිවන බැවින් ඒවායේ ඡායාරූප මෙහි පළකරන්නේ නැත)

මෙම පුවත සම්බන්ධයෙන් යම් පාර්ශවයකට අගතියක් වන්නේ යැයි හැ‍ඟෙන්නේ නම් ඔවුන්ගේ අදහස් දැක්වීම ද මේ හා සමාන වූ ඉඩක පළකිරීමට අපි බැඳී සිටින්නෙමු.

Related articles

Recent articles

spot_img