-2.1 C
New York

උණවටුන මුහුදේ තරුණයකුගේ මරණය අභිරහසක්. ඝාතනයක් හෝ හදිසි අනතුරක්දැයි සැකයක්

Published:

උණවටුන මුහුදේ දී මියගිය තරුණයකුගේ මරණය පිළිබඳ බරපතල සැකයක් පවතින බැවින් එම මරණය සම්බන්ධයෙන් ආරම්භ කළ හදිසි මරණ පරීක්ෂණය නතර කර මහේස්ත්‍රාත්වරයාට යොමුකළ බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මරණය සිදුව තිබුණේ පසුගිය 03 වැනි දා ය. මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම, දෙනිපිටියේ, කුළුදුල්හේන ප්‍රදේශයේ පදිංචි ඩිලාන් රමේෂ් රුවන්පතිරණ නමැති 24 හැවිරිදි තරු‍ණයෙකි.

හදිසි මරණ පරීක්ෂකවරයා කියා සිටියේ ඔහුගේ මරණය සම්බන්ධ සාක්ෂි විභාග කිරීමට සූදානම් වී එම මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙස කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය රුවන් නානායක්කාර නියෝග කළ බවයි. එහි දී මළ සිරුර බාහිර පරීක්ෂණයේ දී හිසෙහි තුවාලයක් ඇති බව විශේෂඥ වෛද්‍යවරයා විසින් තමන්ට දැනුම් දුන් බවත් එය මුහුදේ දී බෝට්ටුවක හෝ වෝටර් ජෙට් රථයක හෝ ගැටීමෙන් සිදුවූවක් යැයි සැකයක් පවතින බවට වෛදවරයා පැවසූ බැවින් මරණ සම්බන්ධ පරීක්ෂණ කටයුතු මහේස්ත්‍රාත්වරයාට යොමු කළ බව හදිසි මරණ පරීක්ෂකවරයා කීවේය.

පොලිසිය පවසන්නේ මෙම තරුණයා උණවටුන මුහුදේ සිය සුරතල් බල්ලෙකු ද සමගින් මුහුදේ කිමිදෙමින් සිට ඇති බවයි. හිටි හැටියේ ම බල්ලා අසාමාන්‍ය ලෙස කෑ ගසන බැවින් ඒ ගැන විමසිලිමත් වූ විට මෙම තරුණයා ජලයේ පාවෙමින් සිටිනු දැක ඔහු ගොඩබිමට ගෙනවිත් ඇත. ඔහු වහාම කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ආව ද ඒ වනවිටත් ඔහු මියගොස් තිබිණි.

මරණය සිදුවන්නට ඇත්තේ දියේ ගිලීමකින් යැයි අනුමාන කරමින් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කර තිබිණි. නමුත් හිසෙහි ඇති තුවාල හේතුවෙන් එය හදිසි අනතුරක් හෝ ඝාතනයක් විය හැකියැයි ඇති වූ සැකය නිසා මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කර ඇත.

එම මරණය සම්බන්ධ මූලික සාක්ෂි විභාගය මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති අතර හිසෙහි ඇති තුවාල සම්බන්ධව රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට අධිකරණ වෛද්‍ය අංශය කටයුතු කර තිබේ.

Related articles

Recent articles

spot_img