ප්‍රාදේශීය සභාවල ලේකම් තනතුරු සඳහා නීත්‍යානුකූළව පත්කළ යුතු වන්නේ කළමනාකරණ සේවා නිලධාරී අධිශ්‍රේණියේ අයකු වුව ද පළාත් සභා කිහිපයක ආණ්ඩුකාරවරු විසින් අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සුදුසුකම් ලත් නිලධාරීන් පත්කිරීම දිගින් දිගටම වළක්වමින් සිටියි.
ඔවුන් මෙලෙස ක්‍රියාකරන්නේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ වුවමනාවට බවත් දේශපාලනික අවශ්‍යතා මත මෙලෙස කටයුතු කරන බවත් රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය චෝදනා කරයි.
මෙම තත්වය ඌව, සබරගමුව සහ වයඹ පළාත්වල දක්නට ලැබෙන අතර නීති විරෝධී ලෙස සභාලේකම් තනතුරු සඳහා දේශපාලන වුවමනාවට සංවර්ධන නිලධාරීන් පත්කර තිබේ.
ඌව පළාතේ ලුණුගල, මහියංගණය, රිදීමාලියද්ද, මඩුල්ල, බඩල්කුමුර, කතරගම, තණමල්විල, සියඹලාණ්ඩුව සහ බිබිල යන ප්‍රාදේශීය සභා සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභභාව විසින් විධිමත්ව පත්කර ඇති සභා ලේකම්වරුන් රාජකාරී භාර ගැනීම ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් විසින් වළක්වා ඇත.
එම නිලධාරිනන් පත්කරනු ලැබ ඇත්තේ 2020-03-21 වැනි දින පැවැති සීමිත විභාගයකින් ඉහළම ලකුණු ලබා ගැනීම අනුවය.
මෙය ආණ්ඩුකාරවරයා විසින් තම බලය අත්තනෝමතික ලෙස භාවිතා කරමින් කරනු ලබන නීති විරෝධී කාර්යයකි.
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත අනුව ප්‍රාදේශීය සභාවක ලේකම් ලෙස නිසි හා යෝග්‍ය තැනැත්තෙකු පත් කළ යුතුය. ඒ අනුව 1993.02.24 දිනැති කැබිනට් තීරණයක් අනුව එම සභා ලේකම් තනතුර සඳහා නිසි හා යෝග්‍ය තැනැත්තෙකු ලෙස සාමාන්‍ය ලිපිකරු සේවයේ (වත්මන් කළමනාකරණ සේවා නිලධාරී) අධිශ්‍රේණියේ නිලධාරියකු සුදුසු බවට තිරණය තිබේ. එම අමාත්‍ය මණ්ඩල තීරනය අනුව ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරයට එවැනි නිලධාරීන් හැර වෙනත් නිලධාරීන් පත් නොකළ යුතු බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් සියලුම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් ලේකම් වරුන් දැනුම්වත් කර ඇත.
නමුත් එවැනි නීතිමය තත්වයක් තිබිය දී ඌව පළාත් සභාව, සබරගමුව පළාත් සභාව හා වයඹ පළාත් සභාව අත්තනෝමතික ලෙස දේශපාලන වුවමනාකම් අනුව ඔවුන්ගේ හිතවත් සංවර්ධන නිලධාරීන් පිරිසක් අදාල තනතුරුවලට පත්කරගෙන තිබිණි.
එමෙන් ම 2015 වර්ෂයේ සිට ඌව පළාත් අධි ශ්‍රේණියේ උසස් කිරීමේ විභාය පැවැත්වීම කල් දැමූ පළාත් බලධාරීන් අවසානයේ 2020/21 තරඟ විභාගය පවත්වන ලදී. එහි දී සමත්වූ අධි ශ්‍රේණියේ නිලධාරීන් 14ක් අදාල ප්‍රාදේශීය සභාවලට පත්වීම වළැක්වීමට මේ වනවිට කටයුත කර තිබේ.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් සුනිල් ගමගේ මහතා පවසන්නේ මෙය එම නිලධාරීන්ට සිදුකරන අසාධාරණයක් මෙන්ම සභාපතිවරුන්ගේ හිතවතුන් ඔවුන්ට අදාල නොවන සහ සුදුසුකම් නැති තනතුරක රඳවා ගනිමින් දූෂණයට හා වංචාවට අවස්ථාව ලබා දී ඇති බවයි.
ඌව පළාත් ආණ්ඩුකාර මුසම්මිල් ද නීතියට පටහැනිව යමින් සභාපතිවරුන්ගේ වුවමනාව ඉටුකිරීම ගැටලුවක් බව ද එම සම්මේලනය පවසයි.