නව ගිවිසුම අත්සන් කරයි
ගිවිසුම කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අත්සන් කිරීමෙන් පසු
තෙල් ටැංකි ඉන්දියාවට බදු දුන් කාලය තවත් වසර 15කින් දික් වෙයි
තෙල් සංස්ථාවට දිරාගිය ටැංකි. ඉන්දියාවට හොඳ ටැංකි
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාල ගිවිසුමක් මුදල් අමාත්‍යාංයේ දී අද (07) අත්සන් කෙරිණි.
අත්සන් තැබූ එම ගිවිසුමට අනුව 2003 වර්සයේ අත්සන් කළ ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක කාලයකට ආයතන 03ක් අතර බෙදී යාමට නියමිතය.
2003 වර්ෂයේ දී මෙම තෙල් ටැංකි සංකීර්ණය බදු දී තිබුණේ වසර 35කට වන අතර එම බදුකාලය 2038 වර්ෂයේ දී අවසන් වීමට නියමිතව තිබිණි. මෙම ගිවිසුම අනුව එම බදුකාලය තවත් වසර 15කින් දීර්ඝවන බවත් එය අවසන් වන්නේ 2053 දක්වා බවත් බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවට 51%ක්, ලංකා ඉන්දියානු ඔයිල් සමාගමට 49%ක් කොටස් හිමි ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් නමින් අලුතෙන් ස්ථාපිත කරන ලද සමාගමට තෙල් ටැංකි 61ක් සහ ඉන්දියානු ලංකා තෙල් සමාගමට ටැංකි 14ක් ලෙස ටැංකි බෙදී යන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ එම නව ගිවිසුම අනුව තෙල් ටැංකි 99න් 85ක ම පාලනය තෙල් සංස්ථාව සතුවන බවයි. දැනට ඉන්දියන් ඔයිල් සමාගම භාවිතා කරන ටැංකි 14 ඒ ආකාරයෙන් ම එම සමාගමට හිමිිවෙයි. කෙසේ වෙතත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඇති ටැංකි 99 අතරින් ප්‍රයෝජනයට ගත හැකිවන්නේ ඉන්දියන් ඔයිල් සමාගම දැනටමත් භාවිතා කරන තෙල්ටැංකි 14 පමණි. අනෙක් ටැංකි 85න් 16ක් අලුත්වැඩියා කර භාවිතා කළ හැකි තත්වයේ තිබුණ ද ඒවාට අධික මුදලක් වැය වෙයි. ඉතිරි ටැංකි 69 අලුත්වැඩියා කිරීම ද අපහසු තත්වයක පවතී.
මෙම නව ගිවිසුම ලබන 10 වැනි දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු 18 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනවාරි 11 වැනි දා සිට මෙම ගිවිසුම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරන බවත් අමාත්‍යාංශය පවසයි.
එයින් තහවුරු වන්නේ ගිවිසුම අත්සන් කිරීමට පෙර එම ගිවිසුම කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නොමැති බවයි.
මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන පිරිස මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
