spot_img
spot_imgspot_img

දකුණු පළාත් අධ්‍යාපනේ, විශ්වවිද්‍යාල විභාග අවුල් කරලා. විභාග ශාලාවට නීති විරෝධී පත්වීම්

පුවත්

විදෙස්

කැලණිය විශ්වවිද්‍යාලය මගින් ප්‍රාදේශීය වශයෙන් පවත්වන විභාගය දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නීතියට පටහැනි ආකාරයෙන් පවත්වන බවට තොරතුරු ලැබී තිබේ.

මේ අනුව එම විභාගය කටයුතු සම්බන්ධයෙන් යම් අයකු නීතිමය ලෙස අභියෝගයක් කළහොත් සම්පූර්ණ විභාගයම අවලංගු කිරිමේ අවදානමක් ඇත.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් විශ්වවිද්‍යාලවල පැවැත්විය යුතු ඇතැම් විභාග ප්‍රාදේශීය මට්ටමෙන් පැවැත්වීමට තීරණය කළ අතර ඒ සඳහා වගකීම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වෙත ලබා දී තිබේ.

ඉරිදා (09)  කැලණිය විශ්වවිද්‍යාලයේ විභාගයක් පැවැත්වීමට කටයුතු කර ඇත. මෙවැනි විභාගවල දී නියෝජ්‍ය ශාලාධිපති සහ විභාග නිරීක්ෂකවරු ලෙස යොදාගනු ලබන්නේ විදුහල්පතිවරු සහ ගුරුවරු පමණි. ඔවුන්ට ද කොන්දේසි විශාල ප්‍රමාණයක් තිබේ.

නමුත් මෙවර දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එය කඩ කරමින් නියෝජ්‍ය ශාලාධිපිතවරුන් ලෙස දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කරන ලිපිකරුවන් පත්කර තිබේ. එය නීති විරෝධීය. එවැනි පත්කිරීමක් අනුව විභාගය පැවැත්වුවහොත් විභාගය අවසානයේ දී යම් අපේක්ෂකයකු නීතිමය කරුණු මතුකළහොත් සම්පූර්ණ විභාගය ම අවලංගු කිරීමට සිදුවනු ඇත.

මේ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ කිසිම හේතුවක් නිසා විදුහල්පතිවරු, ගුරුවරු හැර කාර්යාල ලිපිකාර සේවයේ පුද්ගලයන් විභාග ශාලාවල සේවයට යෙදවිය නොහැකි බවයි. එලෙස යොදා ඇත්නම් එය නීති විරෝධී බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්ත‍මේන්තුවේ ජාතික පාසල් සහ විභාග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශ්‍රීපාලි දයා කල්‍යාණිගෙන් විමසූ විට ඇය කියා සිටියේ විභාගය සංවිධානය කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් බවයි. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්ත‍මේන්තුව කරන්නේ එය සම්බන්ධීකරණය පමණක් බව ද ඇය කියා සිටියාය.

විභාගයක නියෝජ්‍ය ශාලාධිපතිවරු සහ සුපරීක්ෂක තනතුරු සඳහා විදුහල්පතිවරු සහ ගුරුවරු හැර වෙනත් අය පත්කිරීම නීති විරෝධී නොවන්නේ දැයි විමසූ විට ඇය මෙසේ කීවාය.

“විදුහල්පතිවරු සහ ගුරුවරු පමණක් විභාග කටයුතු සඳහා යොදවන්නේ රජයේ විභාගය දී විතරයි. මේක එවැනි දෙයක් නෙවෙයි. විශ්වවිද්‍යාලයෙන් කරන විභාගයක්. ඒ නිසා එලෙස කරන්න අවශ්‍ය නැහැ. අපි ලිපිකරු සේවයේ අය විභාග කටයුතු සඳහා යොදවා තිබෙනවා.”

නමුත් විශ්වවිද්‍යාලයෙන්  ඒ ගැන විමසූ විට ලිපිකාර සේවයේ නිලධාරීන් විභාග කටයුතු සඳහා යෙදවීම නීත්‍යානුකූළ නොවන්නේ යැයි පැවසූ බව ඇයට කියූ විට ඇය කීවේ මෙවැන්නකි.

“මම එ් ගැන දැනගෙන හිටියේ නැහැ. මම හිතුවේ මෙය රජයේ විභාගයක් නොවන නිසා ගැටලුවක් නෑ කියලා. මං ඒ ගැන කතා කරලා තීරණයක් ගන්නම්”

දකුණු පළාතේ ජාතික පාසල් සහ විභාග අංශයේ නියෝජ්‍ය ආධයාපන අධ්‍යක්ෂවරිය විශ්වවිද්‍යාල රජයේ ආයතනයක් ලෙස නොසැළකීම පුදුමයට කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!