-4.8 C
New York

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රජයට බිලියන රුපියල් 163ක ඉල්ලුමක්

Published:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 ජනවාරි මස 05 වැනි දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 90ක දී කල් පිරෙන ලෙස නිකුත් කරන ලද රුපියල් බිලියන 25ක භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් රුපියල් බිලියන 108ක ඉල්ලුමක් ද, දින 182කින් කල්පිරීමට ඉදිරිපත් කළ රුපියල් බිලියන 28 භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් බිලියන 31ක ඉල්ලුමක් ද, දින 364කින් කල් පිරීමට ඉදිරිපත් කළ රුපියල් බිලියන 21 භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් බිලියන 23ක ද ඉල්ලුම් ඉදිරිපත් ව ඇත.

එහිි දී පෙර භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පැවැති පොළී අනුපාතිකය සුළු වශයෙන් වෙනස් වී ඇති අතර දින 91ක් සඳහා වූ පොළී අනුපාතිකය, 8.16% සිට 8.26% දක්වා ඉහළ දමා ඇත. දින 182ක් සඳහා වූ පොළී අනුපාතිකය 8.33% සිට 8.3% දක්වා අඩු වී ඇති අතර දින 364ක් සඳහා වූ පොළී අනුපාතිකය 8.24% 8.39% දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ කොටස් වෙළෙද පොළ අද (06) දිනයේ ගනුදෙනු 67,328ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 9,464ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 92කින් ඉහළ ගොස් මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වර්තා කළ ඉහළම අගය වන ඒකක 13,169ක් වාර්තා කරන ලදී.

අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1,234යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 966යි, සන්ෂයින් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 683යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 51යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 40, ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 36ක් ලෙස සටහන් විය.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙද පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 779ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද රුපියල් බිලියන 685ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 267ක් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තුන්වැනි ස්ථානයට ද පත්විය.

අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ඇග්ස්ටාර් පොහොර සමාගම 42%කින් ද, සියෙරා කේබල් සමාගම 39%කින් ද, කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම 24%කින් ද කොටස් මිල ඉහළ යන ලදී. සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්වීඑල් එනර්ජි සමාගමෙහි කොටස් මිලියන 06ක් රුපියල් 11.00 බැගින් ද, බ්‍රවුන්ස් සමාගමේ කොටස් 49,000ක් රුපියල් 402.00 බැගින් ද, වින්ෆෝර්ත් සමාගමේ කොටස් ලක්ෂ 13ක් රුපියල් 19.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 90ක ක‍ොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 201ක කොටස් විකුණා තිබේ.

ඒ අනුව අද දිනයේ පමණක් විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 111ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර හේලීස් සමාගම රුපියල් මිලියන 20යි, එල්වීඑල් එනර්ජි සමාගම රුපියල් මිලියන 10යි, ටේක්සචර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 05යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 04යි, බ්‍රවුන්ස් බීච් සමාගම රුපියල් මිලියන 3.9ක් ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සොෆ්ට් ලොජික් සමාගම රුපියල් මිලියන 46යි, සන්ෂයින් හෝලඩින් සමාගම රුපියල් මිලියන 38යි, ඕවසීස් සිකුරිටි සමාගම රුපියල් මිලියන 23යි, කැලණි වැලි සමාගම රුපියල් මිලියන 13යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 11යි ලෙස ද ප්‍රමුඛ විය.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img