-5.9 C
New York

කොටස් වෙළෙඳ පොළ ඒකක 13,000 ඉක්මවමින් වාර්තා තබයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) ගනුදෙනු 86,321ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 15,560ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 276කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය ඒකක 13,076ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර සියරා කේබල් සමාගම රුපියල් මිලියන 2,040යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,993යි, ඇග්ස්ටා පොහොර සමාගම රුපියල් මිලියන 1,099යි ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර සියරා කේබල් සමාගම කොටස් මිලියන 176යි, ඇග්ස්ටා පොහොර සමාගම කොටස් මිලියන 136යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 108ක් ලෙස සටහන් විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද සිදුවූ ගනුදෙනු සංඛ්‍යාව වැඩිම අගයක් ගත් අතර දෛනික පිරිවැටුම ද මෑත කාලීනව ඉහළම අගය වාර්තා කරමින් සමස්ත කොටස් මිල දර්ශකය ද ඉතිහාසයේ ඉහළම අගය දක්වා ගෙන ගියේය.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 2.25ක්, රුපියල් 9.00 බැගින් ද, ජෝන් කීල්ස් සමාගම කොටස් 501,000ක් රුපියල් 150.00 බැගින් ද ටේක්සචර්ස් ජර්සි සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 47.00 බැගින් ද හුවමාරු විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර කිංග්ස්බරි ‍හෝටල් සමාගම 20%කින් ද, හන්ටර්ස් සමාගම 19%කින් ද, සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගම 17%කින් ද කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 775 ඉක්මවූ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේ ද, රුපියල් බිලියන 678 ඉක්මවූ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද රුපියල් බිලියන 267 ඉක්මවූ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තුන්වැනි ස්ථානයට ද පත්විය.

අද දිනයේ විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 295ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 273ක කොටස් විකුණා ඇත. ඒ අනුව අද දිනයේ දී රුපියල් මිලියන 22ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළට අලුතෙන් එක්කර ඇත.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 89ක් ද, හේලීස් සමාගම රුපියල් මිලියන 51ක් ද, සොෆ්ට්ලොජික් සමාගම රුපියල් මිලියන 30ක් ද ටෙක්ස්චර් ජර්සි සමාගම රුපියල් මිලියන 25ක් ද, එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 9.6ක් ද වාර්තා කළ අතර විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 75යි, සන්ෂයින් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 60යි, ඕවර්සීස් රියලටි සමාගම රුපියල් මිලියන 13යි, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 10යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 09ක් ලෙස සටහන් විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය ඒකක 13,000 ඉක්මවීම විශේෂත්වයක් වේ. ඒ සඳහා ප්‍රධාන හේතූන් කිහිපයක් සාධනීය ලෙස බලපා ඇත. ශ්‍රී ලංකාවේ දැනට පවතින 12%කට ආසන්න උද්දමන අනුපාතිකය ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොළිය අඩුවීම, ණය පොලී අනුපාතිකය සහ තැරැව්කාර සමාගම්වල පොළිය අඩුවීම, කොළඹ කොටස් වෙළෙඳ පොළ කාර්යක්ෂම පරිගණක පද්ධතියක් පැවතීම යන කරුණු ඊට හේතු වී ඇත.  

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img