-5.9 C
New York

කොටස් වෙළෙඳ පොළ වාර්තාගත ගනුදෙනු සිදුකරද්දී, සමාගම් 04කට අනතුරු ඇඟවීම්

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 74,046ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 9,639ක් බවට පත්විය.

ඉතිහාසයේ එක් දිනක් තුළ වාර්තා කළ වැඩිම සමස්ත කොටස් මිල ඉහළ යාම වාර්තා කරමින් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 399.8කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය ඒකක 12,625ක් බවට පත්විය.

2022 වර්ෂයේ ප්‍රථම ගනුදෙනු ආරම්භය අද දිනයේ සිදු වූ අතර, වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,520යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 890යි, සමූපකාර රක්ෂණ සමාගම රුපියල් මිලියන 680යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 167යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 86යි, සමූපකාර රක්ෂණ සමාගම කොටස් මිලියන 81යි ලෙස ප්‍රධාන විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ටෙක්ස් ඇග්‍රෝ සමාගමේ කොටස් මිල 66%කින් ද,  ටෙක්ස් ඇග්‍රෝ (X) 45%කින් ද එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම 34%කින් ද කැපී පෙණිනි.

සංවෘත කවය තුළ ප්‍රයිම් ලෑන්ඩ් සමාගමේ කොටස් මිලියන 19.9ක් රුපියල් 11.80 බැගින් ද, වෝකර් ඇන්ඩ් ව්‍රෙක් සමාගමේ කොටස් මිලියන 01ක් රුපියල් 51.00 බැගින් ද, රේණුක හෝල්ඩින් සමාගමේ කොටස් මිලියන 02ක් රුපියල් 20.50 බැගින් ද කොටපොළ වැවිළි සමාගමේ කොටස් මිලියන 2.5ක් රුපියල් 8.00 බැගින් ද රෝයල් සෙරමික් සමාගමේ කොටස් 750,000ක් රුපියල් 79.00 බැගින් ද, එල්ඕඑල්සී සමාගමේ කොටස් 30,000ක් රුපියල් 1,180.00 බැගින් ද හුවමාරු විය.

අද දිනයේ විශේෂත්වය වන්නේ සමාගම් ‍කිහිපයක විකිණීමට තබා තිබූ කොටස් සියල්ල අවසන් වීම හේතුවෙන් මුදල් සීමාව දීර්ඝ කිරීම සඳහා අවස්ථා කිහිපයක දී ගනුදෙනු අත්හිටුවීමට සිදුවීමයි. ටෙක්ස් ඇග්‍රෝ සමාගම, එල්ඕඑල්සී ෆිනෑන්ස් සහ සමූපකාර සමාගම් එලෙස කොටස් අවසන් වූ සමාගම් වෙයි.

එමෙන් ම කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අද දිනයේ සිට පැය භාගයකින් දීර්ඝ කර ඇති අතර ඒ අනුව පෙරවරු 10.00 සිට 10.30 දක්වා ඇණවුම් ඉදිරිිපත් කිරීමේ කාලසීමාව ලෙසත්, පෙරවරු 10.30 සිට 2.30 දක්වා ගනු දෙනු කාලසීමාව ලෙසත් සංශෝධනය කර ඇත.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 756ක වත්කම් ඉක්මවූ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, බිලියන 574 ඉක්මවූ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, බිලියන 250 ඉක්මවූ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තෙවැනි ස්ථානයට ද පත්ව තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 119ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 106ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනය තුළ දී පමණක් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 12ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළට අලුතෙන් එක්කර ඇත.

මෙය ඉතා සාධනීය තත්වයක් වන අතර 2022 වර්ෂය පුරාවටම විදේශීය මුදල් ගලාඒමක් සිදුවුවහොත් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 15,00 ඉක්මවිය හැකි බවට ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි. විදේශීය ආයෝජකයන් කෙටස් මිල දී ගත් සමාගම් අතර කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 20යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 12යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 08යි, සිංගර් ෆිනෑන්ස් රුපියල් මිලියන 7.9යි, සොෆ්ට්ලොජික් ලයිෆ් මිලියන 7.7ක් ලෙස ද, විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් ලෙස සමූපකාර රක්ෂණ සමාගම රුපියල් මිලියන 13යි, කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 06යි, අගලවත්ත වැවිළි සමාගම රුපියල් මිලියන 05යි, රේණුක සිටි හොටෙල් මිලියන 4.9යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 4.7ක් ලෙස කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ක්‍රියාත්මක වන සියලු මූල්‍ය සමාගම්වල වාර්ෂිික මූල්‍ය වාර්තා සහ කාර්තුමය මූල්‍ය වාර්තා නිසි කාලසීමා තුළ ඉදිරිපත් කිරීම අනිවාර්යය වන අතර ඒ අනුව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා රෙගුලාසි අංක 7.5 යටතේ 2022-01-07 දිනට පෙර 2021 වාර්ෂික මූල්‍ය වාර්තා නිසි පරිදි ඉදිරිපත් නොකළහොත් ලබන සඳුදා (10) දිනයේ සිට එම සමාගම්වල ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳ පොළ තිරණය කර තිබේ.

එම සමාගම් වන්නේ අනිලානා හෝටල් සමාගම, සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගම, බිම්පුත් ෆිනෑන්ස් සමාගම සහ රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල් සමාගමයි

මෙය ඉතාමත් සාධනීය තත්වයකි. කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන්ගේ මුදල් ආරක්ෂා කිරීමටත්, සමාගම්වල මූල්‍ය වාර්තා නිසි පරිදි ඉදිරිපත් කිරීමටත් ගනු ලැබූ පියවරක් ලෙස හැඳින්විය හැකිය.

(විශ‍්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img