spot_img
spot_imgspot_img

ලෝකයට ම ආදර්ශයක් වූ “සුපෙම්බරා” විශේෂ අවශ්‍යතා ඇති ‍දරුවන්ටත් ලෝකය ජයගත හැකි බව පෙන්වයි

පුවත්

විදෙස්

“සුපෙම්බරා” නම් ගීතයක් ගැන පසුගිය දිනවල දැඩි අවධානයක් යොමුව තිබිණි. මේ ගීතය නිර්මාණය කළේ විශේෂ අවශ්‍යතා ඇති දරුවකු ලෙස ඉපිදී තරුණවියට පා තැබූ ජරක නරේන්ද්‍ර විසිනි.

ජරක නරේන්ද්‍ර ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන් ම මෙරට නාට්‍ය කරුවකු වන නිෂ්මං රණසිංහගේ පුතණුවන්ය.

නිෂ්මං අපූරු මිත්‍රයෙකි. ගැඹුරක් ඇති මිනිසකු වූ නිෂ්මං මගේ සුමිතුරකු වූයේ ඔහුත් මාත් මාධ්‍යවේදියකු වූ පමණින්ම නොවේ. ඔහු සමාජය දෙස වෙනස් කෝණයකින් බලන්නකු වීම නිසා ම ඔහුත් මමත් අතිජාත මිත්‍රයෝ වූ හ.

බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් එකතුකරගෙන නාට්‍ය කළ නිෂ්මං රණසංහ මට මාධ්‍යවේදියකුටත් වඩා කලාකරුවෙකු වූයේය. ඒ නිසා ම මම නිතර ඔහු‍ගේ නිවසට ආගියෙමි. එතැන මට අමුතු තැනක් වූයේ නැත.

රජයේ අමාත්‍යාංශයක සේවය කරන බිරිඳ, දියණිය සහ පුතු සිටින ඒ කැදල්ල රමණීයය. ඔහු වැඩි පුරම කතා කරන්නේ කලාව ගැනත් සිය පුතා ගැනත්ය. ඔහු කිසි දිනක සිය පුතා විශේෂ අවශ්‍යතා ඇති දරුවකු බව ලෝකයෙන් හැංගුවේ නැත.

ඒ වෙනුවට ඔහු තම පුතු වෙනුවෙන් සියලු දේ කළේය. පුතා සතුටින් තියන්නටත් පුතුට හැකි පමණින් කලා ලොවේ දස්කම් දක්වන්නටත් ඔහු පුරුදු පුහුණු කළේය.

බිරිඳ තමන්ට හැකි පමණින් නිවසේ ආර්ථිකය ශක්තිමත් කරද්දී සුපුරුදු හිඟන වැටපුකට වැඩ කරන මාධ්‍යවේදියකු වූ නිෂ්මං තම කාලය හා ශ්‍රමය පුතු වෙනුවෙන් කැප කළේ ආදරණීය බිරිඳගේ ශක්තයෙනි.

ඔහු විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ද බොහෝ යා හැකි බව ලෝකයට හඬගා කීවේය. මාධ්‍යකරුවකු ලෙස නොව ආදරණීය තාත්තා කෙනෙකු ලෙසත්, මවක් ලෙසත් මේ දෙපළ ඒ බව සනාථ කළහ. ඊට ඔවුන්ගේ දියණියගෙන් ලැබුණු අප්‍රමාණ වූ දායකත්වය පවුලේ හිතවතකු වන මම හොඳින්ම දනිමි.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගැන විශේෂ උනන්දුවකින් පසුවන මා ඔවුන් ගැන නිතර විමසිලිමත් වීමි. ඒ ඈතින් සිට බලා සිටිමිනි.

ජරක නිරීන්ද්‍ර පුතා අප ඒ නිවසට ගිය විට ද ඔහුට හැකි පමණින් තම දක්ෂතා දක්වයි. අප නිවසට යාම ද මේ පුතාට සතුටකි. තාත්තාටත් අම්මාටත් සොයුරියටත් තිබූ එක් සිහිනයක් ජරක නරීන්ද්‍ර සැබෑ කර තිබේ.

ජරක උපන්නේ ජනවාරි පළමුවැනිදා දිනයක දී ය. මෙවර ඔහු තම උපන්දිනය සැමරුවේ ශ්‍රී ලංකාවේ මතු නොව සමස්ත ලෝකයේ ම ඔහු වැනි විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ට පමණක් නොව සමස්ත සමාජයට ම අපූරු ආදර්ශයක් දෙමිනි.

තම පියා නිෂ්මං රණසිංහ ලියූ ගීතයක්, ගයාන් ගණකාධාරගේ තනු නිර්මාණයෙන් ජරක ගායනා කළේය. ඔහු එය දැන් එළි දක්වා තිබේ.

24 වැනි වියට පා තැබූ ජරකට තව බොහෝ දුර යා හැකි බව ඔහු විසින් ම සනාථ කර පෙන්වූයේය.

තම පුතාගේ දක්ෂතා ගැන හඬ අවදිකරමින් නිෂ්මං මෙසේ කීවේය.

“මගේ පුතා වගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. නමුත් ගොඩක් අය මේ වගේ දරුවන් ගෙවල්වල සඟවාගෙන ඉන්නවා. මම කවදාවත් මගේ දරුවා හැංගුවේ නැහැ. මා ගැන දන්නා හැම කෙනෙක්ම ජරක ගැන දන්නවා. එයාලා ජරකට පෙරළා ආදරය කළා. ඒ හැමෝම ජරකගේ යාළුවෝ. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉගෙන ගන්නා පාසලක හේවිසි කණ්ඩායමට ජරක තෝරාගත්තා. මෙයා පෙරහැරට අරගෙන ගියාම පැත්තක් පැළුණු බෙරයක්  දීලා තිබුණා. මෙයාට බෙරය පලාවි කියලා තමයි එ් වගේ එක පැත්තක් පැලුණු බෙරයක් දීලා තිබුණේ. මම ඒ වෙලාවේ විදුහල්පතිතුමාට කිව්වා හොඳ බෙරයක් දෙන්න කියලා. පැලුනොත් මම එකක් අරන් දෙන්නම් කියලා. ඒ වගේම ලැබුණා. එදා පෙරහැර අවසන් වන තුරු බෙරය වාදනය කරපු එකම ළමයා තමයි මේ.

දවසක් ගයාන් ගනකාධාරගේ ස්ටුඩියෝ එකට ගියාම ගයාන් ඩ්‍රම් සෙට් එක පෙන්නලා ‘‘ගහමුද මචං’’ කියලා ඇහුවා. එතකොට පුතා හා කියලා ඔලුව වනලා ඩ‍්‍රම් සෙට් එකේ වාඩි වුනා. සිංදුවක් දැම්මා. මෙන්න ඩ‍්‍රම් සෙට් එක ගහනවා. මට මතක් වුනේ එදා බෙරයේ කතාව. අපිට දරුවන් සම්බන්ධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන්. දරුවන් සම්පූර්ණ ‍වෙලා අපිට නොලැබෙන අවස්ථා තිබෙන්න පුළුවන්. ඒ දරුවන් සම්පූර්ණ කරන්න ඕනෑ අපි. මම මේ සිංදුව ලියලා ගොඩක් කාලයක් වෙනවා. පුතා අකුරුවලට කැමති නෑ. නමුත් එයා තාලවලට හරිම කැමතියි. මෙයා සිංදුව කියන්න ගත්තා. ගායන් මෙලඩිඑක දැම්මා. පුතා මෙලඩියට හුරු වුණා. මම ඉල්ලා සිටිනවා මේ වගේ දරුවන් ඉන්න දෙමාපියන්ගෙන් හැම දරුවෙක් ම සිංදු කියන්න යවන්න නෙවෙයි නමුත් දරුවන් වෙනත් මානයකට අරගෙන යන්න අපිට පුළුවන්. ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති අය එක්ක වැඩ කරන කෙනෙක් විදියට මම හොඳින්ම දන්නවා මේ දරුවන් අපිට වෙනස් කරන්න පුළුවන්.

මෙම ගීතය එළිදැක්වීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරෙර‍ාගේ අතින් සිදුකෙරිණි.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ ජරක නරේන්ද්‍ර මෙසේ කීවේය.

“මට සුබ පැතූ හැමෝටම ස්තූතියි. ආදරෙයි හැමෝටම. ඉදිරියේ දී බෑන්ඩ් එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒකටත් උදව් කරාවි කියා හිතනවා.”

ඔහුගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන්නේ විශේෂ අවශ්‍යතා ඇති ලෝකයේ සියලු දරුවන්ට ආදර්ශයක් වෙමිනි.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!