ඉදිරියේ දී එළවළු හිගයක් ඇතිවීම වැළැක්විය නොහැකිවනු ඇතැයි නුවරඑළිය ඇතුළු කඳුකර ප්‍රදේශවල මහා පරිමාන හා සුළු පරිමාන එළවළු ගොවීහු කියති.
මේ වනවිට ඔවුන්ට අවශ්‍ය බීජ සහ පොහොර ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය නොලැබී ම එවැනි තත්වයක් ඇතිවීමට හේතුවකි. ඔවුන් පෙන්වා දෙන්නේ දැනට ඇත්තේ මාසයකට ප්‍රමාණවත් එළවළු තොගයක් පමණක් බවයි.
එළවළු වගාව සඳහා ඔවුන්ට අවශ්‍ය පොහොර තොගවලින් 10%ක් පමණක් මේ වනවිට ලැබී ඇති බවත් මේ හේතුවෙන් එළවළු ගොවීන්ගෙන් 30%ක පමණ පිරිසක් වගාකටයුතුවලින් ඈත්ව සිටින බවත් ඔවුහු පෙන්වා දෙති.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දත්ත අනුව එම දිස්ත්‍රික්කයේ එළවළු වගාකරන ගොවීන් සංඛ්‍යාව 40,000ක් පමණ වෙයි.
සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධයස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණශාන්ත හෙට්ටිආරච්චි පවසන්නේ උත්සව කාලයේ දී දිනකට එළවළු කිලෝ ග්‍රෑම් 450,000ක් පමණ නුවරඑළියෙන් පිට පළාත්වලට බෙදාහරින බවයි. නමුත් මෙවර උත්සව කාලයේ දී දිනකට පිටව ගියේ එළවළු කිලෝ ග්‍රෑම් 80,000ක් වැනි ප්‍රමාණයක් බව ද ඔහු පෙන්වාදෙයි. එම ප්‍රමාණය සාමාන්‍ය දිනකට අවශ්‍ය වූ එළවළු කිලෝ ග්‍රෑම් 250,000ක ප්‍රමාණයෙන් ද තුනෙන් එකක් පමණ බව ද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම තොග වෙළෙන්දන් පවසන්නේ රට පුරා ආර්ථික මධ්‍යස්ථානවලින් එළවළු සඳහා ඉල්ලුම 50%කින් පමණ අඩුවී තිබෙන බවයි. පොහොර මිල සහ උද්ධමනය හේතුවෙන් එළවළු මිල අධිකවීම ද ජනතාව එළවළු ආහාරයට ගැනීමෙන් ඈත්වීමට හේතුවක් වී ඇති බව ඔවුන්ගේ අදහසයි.
රුපියල් 1,600.00 ක් වූ පොහොර මිටිය මේ වනවිට රුපියල් 9,500.00ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම බීජ මිල ද ඉහළ ගොස් තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ ප්‍රකාශ කරන්නේ නුවරඑළියට එකදිගට මාස දෙකක් පමණ වැසි ලැබීම ද එළවළු මිල ඉහළ යාමට හේතුවක් වූ බවයි. කෙසේ වෙතත් අල සහ එළවළු සඳහා අවශ්‍ය පොහොර සැළකිය යුතු ප්‍රමාණයක් ලැබී ඇතැයි ද සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ ඉදියේ දී එළවළු මිල පහළ යනු ඇති බවකි.