spot_img
spot_imgspot_img

අධ්‍යාපනයටත් ක්‍රීඩාවටත් එකසේ දස්කම් දැක්වූ විද්වතෙක් රුහුණ ඉංජිනේරු පීඨයේ මුල් පුටුවට

පුවත්

විදෙස්

රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ආචාර්ය චිත්‍රාල් අඹවත්ත ඊයේ (01) සිය රාජකාරී ආරම්භ කළේය.

ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකුවන චිත්‍රාල් අඹවත්ත රුහුණ විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික හා නිෂ්පාදන ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කළේය. එමෙන්ම එම අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙස ද වසර 03ක් කටයුතු කර ඇත.

මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද එකසේ දස්කම් දැක්වූ චිත්‍රාල් අඹවත්ත 1985 වර්ෂයේ දී මහින්ද විද්‍යාලයීය 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන්ම 19 පහළ පාපන්දු කණ්ඩායමේ ද නායකයා වූයේය. එමෙන් ම එම වර්ෂයේ දී ම හෙතෙම 19 පහළ හොකී කණ්ඩායමේ උප නායකයා ලෙස ද කටයුතු කළේ ක්‍රිකට්, පාපන්දු සහ හොකී යන ක්‍රීඩා තුනටම එකසේ දස්කම් දක්වමිනි.

1984 සිට 1986 දක්වා විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයකු ලෙස කටයුතු කළ ඔහු පාසලේ මළල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා ද වූයේය.

රුසියාවේ මොස්කව් නුවර රුසියානු ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයෙන් (පැට්‍රිස් ලුමුම්බා විශ්වවිද්‍යාලය) තාක්ෂණ විද්‍යාවේදී ආචාර්ය උපාධිය 1997 වර්ෂයේ දී ලබාගන්නා ආචාර්ය අඹවත්ත අභ්‍යන්තර දහන තාප එන්ජින් සහ පාරිසරික ආරක්ෂාව සහ ස්වභාවික සම්පත් භාවිතය පිළිබඳ පර්යේෂණ සිදුකර තිබේ.

විකල්ප ඉන්ධන භාවිතය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සහ බලශක්ති තාක්ෂණය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔහු පර්යේෂණ රැසක් සිදුකර තිබේ. එමෙන් ම ඩීසල් ඉන්ධන සමඟ කැනෝලා තෙල් මිශ්‍ර කිරීමෙන් සංයුක්ත අධිවේගී සෘජු පහර එන්ජිමක පිටාර වායු ප්‍රමාණය අඩු කිරීම පිළිබඳව ද ඔහු අධ්‍යයනයන් සිදුකර ඇත.

තාක්ෂණික පර්යේෂණයන්ට අදාලව පොත් තුනක් ප්‍රකාශයට පත්කර ඇති චිත්‍රාල් අඹවත්ත විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා රැසකට දායක වී තිබේ.

රුහුණ විශ්වවිද්‍යාල‍යේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය මණ්ඩලයට එක්වීමට පෙර ආචාර්ය චිත්‍රාල් අඹවත්ත  ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (NERD Centre) පුනර්ජනනීය බලශක්ති අංශĀේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ ඉංජිනේරුවරයෙක් සහ ව්‍යාපෘති කළමනාකරු ලෙස චසර 06ක් පමණ කටයුතු කළේය.

මීට අමතරව පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති රැසකට සම්බන්ධ වෙමින් කටයුතු කළ ආචාර්ය අඹවත්ත රජයේ අමාත්‍යාංශ, රාජ්‍ය නොවන සංවිධාන මගින් සහ ජාත්‍යන්තර ආයතන මගින් දියත් කෙරුණු ව්‍යාපෘති රැසක ද උපදේශකවරයකු මෙන්ම ව්‍යාපෘති අධීක්ෂකවරයකු ලෙස ද සේවය කර හසළ පළපුරුද්දක් ඇති අයෙකි.

රුපියල් මිලියන 33ක වියදමින් ක්‍රියාත්මක වූ මුතුරාජවෙළ වෙළෙඳ පොළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යාපෘතියේ ද කළමනාාකරු ලෙස ආචාර්ය අඹවත්ත කටයුතු කළේය.

2010 දී ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියෙහි (NAITA)සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වීම් ලැබූ ඔහු,  කාර්මික අධ්‍යාපන සහ පුහුණු කිරිමේ දෙපාර්තමේන්තුවේ (DTET) අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද 2010-2012 කටයුතු කළේය. මීට අමතරව 2017-2018 කාලයේ දී පිලිපීනයේ මැනිලා නුවර ස්ථාපිත කර ඇති Colombo Plan Staff College (CPSC) හි උපදේශකයකු ලෙස ද කටයුතු කළ හෙතෙම පිලිපීනය, රුසියාව, බංග්ලාදේශය, ඇමෙරිකාව සහ චීනය ඇතුළු රටල් ගණනාවක විවිධ පුහුණු වැඩසටහන් පවත්වා ඇත. එමෙන් ම ඔහු ආසියා පැසිෆික් පතීතන සහ සහතික කිරිමේ කොමිෂන් සභාවේ Asia Pacific Accreditation and Certification Commission (APACC)  ප්‍රධාන ප්‍රතීතනකරවකු ලෙස ද මැලේසියාවේ සහ පිලිපීනයේ ත්‍රිවිතීක හා වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනවල (TVET) ප්‍රතීතන කරුවෙක් ලෙස ද මේ දක්වාම ක්‍රියාකරයි.

ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමයේ (SLEMA) යාවජීව සාමාජිකයකු වන ආචාර්ය චිත්‍රාල් අඹවත්ත මෝටර් රථ ඉංජිනේරු ආයතනයේ (IAESL) ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.

මීට අමරව ඔහු ශ්‍රී ලංකා උසස් සංඛ්‍යාලේඛන සංගමය (ASASL), ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS) තරුණ විද්‍යාඥයන්ගේ සංගමය (YSF) ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව (NASTEC) සහ කොරියාවේ කොයිකා සමාජයේ ද සාමාජිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!