-5.9 C
New York

කොළඹ කොටස් වෙළෙඳ 2021 ලෝක වාර්තාවක් තබයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 73,892ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,238ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 206කින් ඉහළ ගිය අතර එය ඒකක 12,226ක් බවට පත්විය.

සමස්ත ‍‍කොටස් මිල දර්ශකය ඒකක 11,200ක පවතින අවස්ථාවේ දී එම දර්ශකය 2021-12-31 වන විට ඒකක 12,500 ඉක්මවනු කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ සම්බන්ධව දෛනිකව සිංහල භාෂාවෙන් විශ්ලේෂණයක්  ඉදිරිපත්කරන rata.lk අපගේ වෙබ් පුරෝකථනයක් ඉදිරිපත් කළ අතර සමස්ථ කොටස් මිල දර්ශකය අද ඒ ආසන්නයට ම පැමිණීම විශේෂත්වයකි.

අද දිනය තුළ දී වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර මූලික කොටස් නිකුතුවකින් අද දින ගනුදෙනු ආරම්භ කළ එල්ඕඑල්සී රක්ෂණ සමාගමේ කොටසක් රුපියල් 7.60 බැගින් නිකුත් කළ අතර එය අද දිනයේ රුපියල් 20.40ක් ඉක්මවමින් ගනුදෙනු වෙමින් දෛනික පිරිවැටුම රුපියල් මිලයන 1,631ක් බවට පත්විය. එය දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම විය.

වැඩිම පිරිවැටුමකින් ගනුදෙනු වූ අනිකුත් සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට සමාගම රුපියල් මිලියන 1,489යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 608ක් ලෙස ද වැඩි කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝලට් සමාගමේ කොටස් මිලියන 286යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 95යි, සමූපකාර රක්ෂණ සමාගම කොටස් මිලියන 92ක් ලෙස ප්‍රධාන විය.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 733ක් ඉක්මවූ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 552ක් ඉක්මවූ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද රුපියල් බිලියන 234ක් ඉක්මවූ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තුන්වැනි ස්ථානයට ද පත්ව තිබිණි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එල්ඕඑල්සී රක්ෂණ සමාගම පළමු දිනයේ ම කොටස් මිල 159%කින් ද, සමූපකාර රක්ෂණ සමාගම 48%කින් ද, ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 40%කින් ද කොටස් මිල ඉහළ යන ලදී.

2021 වසරේ ලෝකයේ වැඩිම වර්ධයනක් සහිත කොටස් වෙළෙඳ පොළ ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ පත්ව තිබුණේ 78%ක වර්ධනයක් අත්පත් කරගනිමිනි20% ක වර්ධනයක් පෙන්වූ එම්එස්සීඅයි ෆොන්ටෙයර් කොටස් වෙළෙඳ පොළ දෙවැනි ස්ථානයට ද 19%ක වර්ධනයක් පෙන් වූ නිව්යෝර්ක් කොටස් වෙළෙඳ පොළ තුන්වැනි ස්ථානයට ද පත්ව ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළ තෝරාගත් ඇතැම් සමාගම්වල කොටස් මිල ඉහළ යාම පරීක්ෂා කිරීමේ දී මෙම වසර ආරම්භයේ දී ශත 10ක් ව පැවැති ඩයලොග් ෆිනෑන්ස් ® කොටසක මිල රුපියල් 13.00 දක්වා 12,900%කින් ද, ඊඑම්එල් කන්සල්ටන් සමාගමේ කොටසක මිල රුපියල් 2.00 සිට රුපියල් 25.00 දක්වා 1,150%කින් ද එක්ස්පෝ ලංකා සමාගමේ කොටසක මිල රුපියල් 30.90 සිට රුපියල් 375.00 දක්වා 1,114%ක ප්‍රතිශතයකින් ද ඉහළ ගොස් තිබේ.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී රක්ෂණ සමාගමේ කොටසක් රුපියල් 10.10 බැගින් කොටස් මිලියන 02ක් හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 82ක කොටස් මිල දී ගෙන ඇති අතර, රුපියල් මිලියන 77ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනය තුළ දී පමණක් සමස්තයක් ලෙස රුපියල් මිලියන 05ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළට එකතුකර ඇත.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර සිංගර් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 12යි, සමූපකාර රක්ෂණ සමාගම රුපියල් මිලියන 09යි, එල්ඕඑල්සී රක්ෂණ සමාගම රුපියල් මිලියන 08යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 06යි, ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 03ක් ලෙස ද, විදේශීය ආ‍යෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 12යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 06යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 5.6යි, ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 5.5යි, ඩයලෝග් සමාගම රුපියල් මිලියන 3ක් ලෙස ද ප්‍රමුඛ විය.

2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ පැවැති කොරෝනා වසංගත තත්වය සහ විදෙස් විනිමය අර්බුදය මධ්‍යයේ වුව ද විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 34ක මුදලක් කො‍ළඹ කොටස් වෙළෙඳ පොළට අලුතෙන් ආයෝජන ලෙස එක්කර ඇති අතර පැවැති ආයෝජනයන්ගෙන් රුපියල් බිලියන 86ක මුදලක් කොටස් විකුණා ඉවත්කරගෙන ඇත.

ඒ අනුව 2021 වර්ෂයේ ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 52ක මුදලක් කොළඹ කොටස්  වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින වැඩිම ලාභයක් අත්පත්කරගත හැකි ආයෝජන අවස්ථාවක් ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ 2022 වර්ෂයේ දී තවදුරටත් කොටස් මිල ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකර සිටිති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img