spot_img
spot_imgspot_img

හෙළ වෙදකමෙන් අතීතයේ වසංගත පාලනය කළ හැටි

පුවත්

විදෙස්

රෝග පීඩාදිය අපට අලුත් දෙයක් නොවේ. කුරුණෑගල යුගයේ දී ලියවුණු බව කියන පන්සිය පනස් ජාතක පොතේ 177 වැනි ජාතකය වන ”කච්ඡප ජාතකයේ” අභිවාතක නම් රෝගයක් දැක්වෙයි.

බුදුරාජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටි අවධියෙක විශාලා මහනුවර දුර්භික්ෂයක් හටගෙන ඇත. වැසි නොවැස ගොවිතැන් පාළුව යෑමෙන් උපදින සාගින්නෙන් මුලින්ම මිය යන්නෙ දුගීන්. දුගීන් මිය ගිහින් තැන තැන මළකුණු තියෙද්දි අමනුෂ්‍ය බිය ඇතිවෙයි. ඒවායේ දුඟඳින් අහීවාතක රෝගය හටගෙන දොරක් දොරක් පාසා මරණය ලඟා වෙනවා. දුර්භික්ෂ බිය , රෝග බිය, අමනුෂ්‍ය බිය යන මේ සියල්ල හැඳින්වූයේ තුන්බිය නමිනි. විශාල මහනුවර තුන්බිය දුරුකිරීමට බුදුන් හන්සේ රතන සූත්‍රය දේශනා කළ බව සඳහන් වේ.

”කච්චප ජාතකයේ” දැක්වෙන්නේ සැවැත්නුවර සිටු කුලයක අභිවාතක රෝගයෙන් බේරීමට සිටුවරයා තම පුතුට දුන් උපදෙසයි. ‘තොප විසින් බිත්ති බිඳගෙන ගියොත් ව්‍යාධිය සන්සිඳෙයි, ඒ නිසා වලට පලා ගොස් ව්‍යාධිය සන්සිඳුනු කල මෙතනට අවුත් අසවල්තැන තිබූ සම්පත් ඇරගෙන කුටුම්බ සණ්ඨාපනය කොට ජීවත්වව්” කීහ.

මේ එදා ඒ රෝගයෙන් මිදෙන්නට ඔවුන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙතයි.

බුදුන්ගේ අවදියට පසු පණ්ඩුකාභය රජ දවස ක්‍රිස්තු පූර්ව 437 – 367 නේවාසික රෝහල් හෙවත් සිවිකාසොත්ති ශාලා ලංකාව පුරා විවිධ පළාත්වල ඉදි කළ බව මහාවංශයේ දැක්වේ. මෙය මුළු ලෝකයෙම අසනීප වූවන් රැකබලා ගැනීම උදෙසාම ආයතන ඉදිකලේ යැයි සදහන් වන පැරණිතම ලිඛිත සාක්ෂියයි.

මහ මඟ යන සර්පයකුගේ සිරුරේ වූ ගෙඩියක් පලා ශල්‍යකර්මයක් කළ ධාතුසේන රජතුමා පිළිබඳ අපේ ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම ලෝකයේ මෙතෙක් හමුවූ පැරණිතම රෝහලක නටඹුන් හමුවී ඇත්තේ ද ශ්‍රී ලංකාවෙනි. ඒ මිහින්තලය රෝහලයි. ක්‍රිස්තුව වර්ෂ නම වැනි සියවසේ දී ඉදිවී ඇති මිහින්තලය රෝහල සේම එම කාලයේ දී අනුරාධපුරය හා මැදිරිගියේ ද තවත් රෝහල් තිබූ බවට දැන් සාධක ලැබී ඇත. මේ රෝහල් පරිශ්‍රයන්හි කරන ලද කැණීම් වලින් ශල්‍ය කර්ම සඳහා භාවිතා කළ සියුම් උපකරණ පවා සොයාගෙන තිබේ. රෝගී මිනිසුන් බෙහෙත් ඔරුවල බහා බෙහෙත් ගල්වා කරන ලද විස්මිත ප්‍රතිකාර අද වනවිිට අභාවයට ගොස් ඇතත් ඒවා පිළිබඳ ඓතිහාසික කතාන්තරනම් ඕනෑ තරම් තිබේ.

අද අපි කොරෝනා රෝගනේ පීඩා විදින ආකාරයෙන් ම අතීත රජදරුවන් රට පාලනය කරන කාලයේ දී ද විවිධ රෝග පැතිරී දහස් සංඛ්‍යාත මිනිසුන් මියගිය බවට සාධක ලැබෙයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ සිරකරුවකුව සිටි රොබට් නොක්ස් තම එදා හෙළදිව ග්‍රන්ථයේ මේ ආකාරයෙන් සටහන් කර ඇත.

” මේ රටෙහි බෙහෙවින් ම ප්‍රචලිතව පවත්නා රෝග අතර ගැහෙන උනය හා ලේ මද කමින් හට ගන්නා රෝගය ද ප්‍රධානත්වයක් ගනී. කලාතුරකින් වසූරිය ආදී බෝවෙන රෝග ද හට ගනී. බොහෝ සිංහලයන් ඔවුන්ගේ ලෙඩට දුකට ප්‍රතිකර්ම වශයෙන් කරන්නේ යන්ත්‍ර මන්ත්‍ර අණවිණ හා යකැදුරු ගුරුකම් ය. එහෙත් ඒ මේ යන්ත්‍ර මන්ත්‍ර අණවිණ ගුරුහරු කම් ආදියෙන් සෙසු කවර රෝගයක් මැඩ පැවැත්වුවත් වසූරිය නමැති වසංගතය නම් එයින් පිටු දැකිය නොහැකි බව එහි වාසය කළ කාලයේ දී මට අත් දකින්නට ලැබුණේය. එය ”දෙයියන්ගේ ලෙඩක්” කියා ඔවුහු කියති. ඇඟපත කැක්කුම් ද ඔවුන්ට හට ගනී. ඒ මේ හැම රෝගයකට ම ඔවුන් මා හැඟි වූ ඖෂධ වර්ග සාදා ගෙන තිබෙනු දක්නට ලැබේ.

මෙ රටේ එක් විශේෂත්වයක් ඇත. එනම් රටේ හැමෝම වෙද්දුය. මේ රටේ නම් දැරූ විශේෂ වෛද්‍යවරු හෝ ශල්‍ය වෛද්‍යවරු හෝ නැත්තාහ. කෂාය බෙහෙත් ගැන හා කැපුම් කෙටුම් පෑස්සුම් ගැන කොයි කාටත් සාමාන්‍ය පලපුරුද්දක් ඇත්තේය. ” යනුවෙන් පවසන නොක්ස් ලෙඩ රෝග රැසකට කරන ලද ප්‍රතිකාර පිළිබඳ සවිස්තරව දක්වා තිබේ.

ඔහු පවසා ඇත්තේ මේ රටේ මිනිසුන්ට සර්වාංග රෝග සුවකිරීම සම්බන්ධයෙන් කිසිදු හැකියාවක් නොමැති බවයි. යක්ෂයා වනාහී මිනිසුන් හට දණ්ඩන පැමිණවීම පිණිස දෙවියන් විසින් එවන ලද දුෂ්ට දූතයෙකැයි සලකන මෙරට වැසියන් ලෙඩ සුව කරන්න යැයි යකුන්ටත් දෙවියන්ටත් පුද පූජා පවත්වන බවත් කියයි.

රොබට් නොක්ස් පවසන්නේ යම් වැදගත් පුද්ගලයකු මියගිය විට දේහය පුළුස්සනට නම් රජුගෙන් අවසර ලැබිය යුතු බවයි. රජුගෙන් අවසර ලැබෙන තුරු ඇතැම් විට දේහය නරක්වන බැවින් නිවස ඇතුලේ වළක් කපා වළලන බවත් අවසර ලැබුණහොත් නැවත ගොඩගෙන පුළුස්සා දමන බවත් ඔහු කියයි. අවසර නොලැබෙන්නේ නම් මේ දේහය ස්ථිරවම ඒ නිවසේ වැළලී යන්නේය. නමුත් වසූරිය වැනි වසංගතයකින් මිය යන්නේ නම් කිසිම චාරිත්‍රයක් නොමැතිව ම මිනිය කැලයට ගෙනගොස් දමා පස්වලට යට කෙරෙති.

අපේ සමාජය තුළ කෙනෙකුට කලාතුරකින් වැළඳෙන ඖෂධවලින් සුව කළ නොහැකි එක්‌තරා රෝග කිහිපයක්‌ අතීතයේ සිටම මෙරට හඳුන්වන්නේ “දෙයියන්ගේ ලෙඩ” යන නමිනි.

මෙම වසංගත රෝග ආදී දෙවියන්ගේ ලෙඩ මවා පෑ දෙවියන් ලෙස ඉතිහාසයේ සඳහන් වන්නේ පත්තිනි මෑණියන් ය. මෙලෙස හඳුන්වන්නේ පැපොල, සරම්ප, වසූරිය, කක්කල් කැස්ස, කම්මුල්ගාය, හොරි, දද, ඇස්‌ ලෙඩ, කුෂ්ඨ යන රෝගයන් ය. කෙනෙකුගෙන් කෙනෙකුට බෝවන රෝග වන අතර මෙම රෝග වැළඳුණු විට අතීත ජනයා භීතියට පත්වූහ.

දෙයියන්ගේ ලෙඩ වැළඳුණු විට ඒ සඳහා නිසි අයුරින් වත් පිළිවෙත් අනුගමනය කිරීම තුළින් මෙම රෝග ඉතා පහසුවෙන් සුවකර ගත හැකිය යන්න අපේ පැරැන්නන්ගේ විශ්වාසය විය. අද නූතන විද්‍යාවේ දැක්වෙන්නේ වෛරස් හෝ බැක්ටීරියා ආසාදන හේතුවෙන් ඇතිවන මේ රෝග සිරුරේ ප්‍රතිශක්තිය මගින් මර්ධනය කළ විට ඉබේ සුවවන බවයි.  

දෙවියන්ගේ ලෙඩ යැයි ඔවුන් විශ්වාස කළ යම් රෝගයක් වැළඳුණු විට මුලින්ම කළේ  රෝගියා අන් අයගේ නෙත නොගැටෙන ලෙස නිවසේ වෙනම කාමරයක ඉතාමත් පිරිසිදුව රඳවා තැබිය තැබීමයි.  එම කාමරයට හා නිවසේ අවට කහ දියර ඉස පිරිසිදු කර ගැනීම තුළින් හා කුණු කිළි (මල්වර කිළි, මරණ කිළි හෝ මස්‌ මාළු, කරවල, බිත්තර ආදී කිළි) හසු නොවන පරිදි පරිස්‌සම් කිරීමෙන් රෝගියා මෙන්ම රෝගයද අන් අයට පැතිර යැම වළක්‌වාගත හැකියැයි ඔවුන්ගේ විශ්වාසය විය.

එමෙන්ම අතීත ගැමියන් විෂ බීජ නාශක හැකියාව ඇති ශාකයක් ලෙස හඳුනාගෙන ඇති කොහොඹ ගසේ ශාක රෝගියාගේ ඇඳ මත අතුරා ඔහුට සිසිලසක් මෙන්ම වැඩි පහසුවක් සළසන අතර එමගින් විෂබීජ පැතිරීම වැළැක්වීම සහ මර්ධනය කිරීමත් ඔවුන්ගේ උත්සාහය විය.

මේ අතර රෝගියාට තෙල් රහිත ආහාර සහ පාන වර්ග ලබාදෙයි. ඒවා අදට ද හඳුන්වන්නේ ලෙඩ කෑම ලෙසිනි. තැම්බුම් හොද්ද, ලුණු කැඳ, පතෝල, වැටකොළු, වට්ටක්කා වැනි ආහාර ඒ අතර විය. මේ එළවළු හා බත් පමණක් ලබාදෙන අතර කිසිදු මාංශයක් දෙන්නේ නැත.

රෝගියාගේ පවුලේ උදවිය ද මාංශ ආහාරයට ගැනීමෙන් වැළකී රෝගියාට ලබාදෙන ආහාරම ගන්නා අතර අවමංගල්‍ය උත්සව සඳහා සහභාගීවීමෙන් පවා වැළැකී සිටියි.

දෙයියන්ගේ ලෙඩ වැළඳුණු විට අපේ ගැමියන් කළ තවත් දෙයක් වන්නේ පිරිසිදු රෙදි කඩක එතූ පෙරුම්කායම් කැබැල්ලක් රෝගියාගේ අතේ බැඳීමයි.  ඉන්දියාවේ පෙරුම්කායම් හඳුන්වන්නේ දෙවියන්ගේ ආහාරය ලෙසිනි. කිරි බොන ළදරුවාගේ සිට වියපත් මහල්ලා දක්වාම පෙරුම්කායම් අවට පරිසරයේ සහ ආහාරවල විෂබීජ හරණයට උයෝගී කරගෙන තිබේ. මේ නිසාම ඉන්දියවේ ගෘහණියෝ ලෙඩක් තිබුණත් නැතත් ආහාරට පෙරුම්කායම් සුළු මාත්‍රාවක් එක්කරති.

මෙය අද විද්‍යාත්මකව හඳුන්වන්නේ නිවසේ සිට කරනු ලබන ස්වයං නිරෝදායනය නමිනි. අපේ ගැමියා එදා කළේ ද වෛරස් රෝග සඳහා එවැනිම නිරෝදායනයකි. 

එමෙන්ම දෙවියන්ගේ ලෙඩ හැදුණු රෝගියකු නිවසේ සිටින බවත් එනිසා නිවසට නොපැමිණෙන ලෙසත් අන් අයට දැනුම් දිම සඳහා අපූරු සංකේත ද ඔවුහු භාවිතා කළහ. ඒ  නිවසේ ප්‍රධාන උළුවස්‌සේ ගොක්‌ රෑන් කීපයක්‌ හෝ කොහොඹ කොළ අත්තක්‌ එල්ලා තැබීමයි. නැතිනම් එය එල්ලා තැබුවේ වත්තට ඇතුළුවන ඉඳි කඩුල්ලේය.
දෙයියන්ගේ ලෙඩ වැළඳුණු විට ඉහත ආකාරයට මූලික කටයුතු කිරීමෙන් පසු ගමේ සිටින මෙම ශාන්ති කර්ම පිළිබඳ උගත් ප්‍රවීන ඇදුරුතුමෙකු ලවා ඔහුගේ උපදෙස්‌ අනුව ඊට අදාළ වත් පිළිවෙත් සිදුකෙරිණි. රෝගියා වෙනුවෙන් සෙත් පිරිත් සජ්ජායනය, පිරිත් නූල් සහ ආරක්ෂක නූල් බැඳීම, දෙහි කපා වතුර මැතිරීම වැනි විවිධ වත් පිළිවෙත් මේ අතර විය.

මේ සියලු දේ සිදුකරන මෙරට වැසියෝ ඕනෑම රෝගයක් සෑදුනු විට වෙද ගෙදරට දුවන්නා සේම ගමේ පන්සලට දුවන්නට ද අමතක කළේ නැත. තම රෝගියාගේ ලෙඩදුක් කරදර දුරු වේවා යැයි කියා බෝධිය නහවා පඬුරු ගැට ගසා දෙවියන්ට බාර හාර වන්නේ සුව වූ පසු යම් දෙයක් ලබා දෙන බවට පොරොන්දු වෙමිනි. ඉන් නොනැවතී පිරිත් පැන් සහ පිිරිත් නූල් රැගෙන ගොස් රෝගියාට පිරිත් පැන් පානය කරන්නටත් පිරිත් නූල අතේ ගටගසා ගන්නටත් දෙයි. නැතිනම් හාමුදුරුවන් ගෙන්වා සෙත්පිරිත් දේශනාවක් පවත්වයි. ඇතැම්විට එය වේල් තුනක් දක්වාම දික්වෙයි. මේ සෑම අවස්ථාවක ම ඔවුන් වඩාත් වැදගත් වන්න් විසාලා මහනුවර තුන් බිය දුරු කිරීමට දෙසූ රතන සූත්‍රයයි.

මේ අපේ ජනතාවගේ විශ්වාසයන්ය. වසර දහස් ගණනක් පුරා තමන් බිය වැද්දූ රෝග නූතන විද්‍යාවේ ඇති වෛරස් හෝ බැක්ටිරියා බව නොදැන ඔවුන් ඒවා මර්ධනයටත් මරණයෙන් වැළැකී සිටීමටත් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත්ය. ඒවා කොතරම් සාර්ථක ද යන්න නොදනිතත් අපේ ජන සමාජය අදටත් එ් වත් පිළිවෙත් හා සිරිත් විරිත්වල නෂ්ඨාවශේෂයන් පිළිගන්නා බව කොරෝනා වසංගතය පැතිරයන මේ මොහොතේ දී ද පෙනී යයි.

ඒ ඔවුන්ගේ සංස්කෘතිය තුළ කිඳා බැස ඇති විශ්වාසයන්ය. විශ්වාසයට විද්‍යාත්මක පදනමක් නැතත් එය පිළිගැනීමට අති බහුතරයක් සැදී පැහැදී සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!