පාසල් සිසුන් විසින් පැදවූ යතුරුපැදියක් ඇළකට පෙරැළී 14 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල පහළ ඇරෑවුවල පදිංචි රශ්මික දිනේෂ් සත්සර ඒකනායක නමැති දරුවෙකි. ඔහු ගමන්ගත් යතුරුපැදිය කලුන්දෑව පරණගම ප්‍රදේශයේ දී ගසක වැදී ඇළට පෙරැළී ඇත.
එම අනතුරින් වයස අවුරුදු 15 සහ 16 සිසුන් දෙදෙනකු ද තුවාල ලබා ඇත.
පොලිසිය පවසන්නේ පාසල් සිසුන් හය දෙනෙක් එකක තිදෙනා බැගින් යතුරුපැදිවලින් කලුන්දෑව ප්‍රදේශයේ ඇළක් අසළින් වැටී ඇති මාර්ගයක ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවයි.
යතුරුපැදි පැදවූ මේ සිසුන්ට වලංගු රථවාහන පැදවීමේ බලපත්‍ර නොමැති අතර යතුරුපැදික තිදෙනකු ගමන් කිරීම ද නීති විරෝධීය.
