spot_img
spot_imgspot_img

ගාල්ලේ සමෘද්ධි බැංකුවකින් සල්ලි ගන්න දිගු පෝළිමක්

පුවත්

විදෙස්

ගාල්ල පෙට්ටිගලවත්ත සමෘද්ධි බැංකුවෙන් තම තැන්පත් මුදල් ආපසු ලබාගැනීම සඳහා අද (29) දිගු පෝළිමක් දක්නට ලැබිණි.

ඇතැම් පුද්ගලයෝ මුදල් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් අද අළුයම 5.00ට පමණ පෝළිමට එක්ව සිටි අතර සමෘද්ධි බැංකුව විවෘත කරන අවස්ථාවේ එහි 700ක පමණ පිරිසක් පෝළිමේ සිටිනු දැකිය හැකිවිය.

මෙලෙස පැමිණ සිටි සමෘද්ධි ලාභීන් පවසන්නේ දින තුනක්ම තමන් පැමිණ ආපසු හැරී යාමට සිදුවූ බවයි. ඊයේ දිනයේ දී ද සිය ගණනක් තම ඉතුරුම් මුදල් ලබාගැනීමට මේ ස්ථානයට පැමිණ සිටිය ද 250ක පමණ පිරිසකට මුදල් ලබා දී තිබූ අතර අනෙක් සියලු දෙනාට ආපසු හැරී යාමට සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත කරුණු පැහැදිළි කළ පෙට්ටිගලවත්ත සමෘද්ධි බැංකුවේ කළමනාකරු සහ නියෝජ්‍ය කළමනාකරු කියා සිටියේ වෙනත් දිනවල දී ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සමෘද්ධි තැන්පත් මුදල් ගෙවීම් සිදුකරන බවයි. නමුත් මෙවර සියලුම දෙනා එකම අවස්ථාවක දී බැංකුව වෙත පැමිණෙන බැවින් ඊට ගතවන කාලය හේතුවෙන් මෙලෙස දිගු පෝළිමක් ඇතිවන බව ද ඔවුහු කීහ.

පෙට්ටිගලවත්ත සමෘද්ධි බැංකුවට ග්‍රාම නිලධාරී වසම් 13ක් අයත්වන බවත් සමෘද්ධි ලාභීන් විශාල පිරිසක් එම ප්‍රදේශවල ජීවත්වන බැවින් එකවිට ඔවුන් පැමිණීමෙන් මෙවැනි ගැටලුවක් ඇතිවී තිබෙන බවත් බැංකු නිලධාරීන් පවසයි.

සඳුදා සහ අඟහරුවාදා දින දෙකෙහි ද මෙවැනිම පෝළිම් තිබූ බව එහි පැමිණ සිටි පිරිස් කියති.

ඩබ්ලිව්.එච්.ලයනල්.

මම පෙරේදා උදේ ආවා. ටික දෙනෙකුට දීලා සල්ලි දෙන එක නැවැත්තුවා. අද උදේ 5.00ට ආවේ දැන් වෙලාව 9.00ත් පහුවෙලා. තවමත් සල්ලි දෙන්න පටන් අරගෙන නෑ. දැන් 60 දෙනෙකුට දෙනවා කියලා තුණ්ඩු දුන්නා.

රිස්වානා මෙසේ කී‍වාය.

පොතේ තියෙන ගණනෙන් භාගයක් තමයි උපරිම දෙන්නේ. මගේ පොතේ රුපියල් 7,000.00යි තියෙන්නේ ඒකෙන් කීයක් ‍දේවිද කියලා දන්නේ නැහැ.

තම ‍නම හෙළිි කිරිමට අකමැති වූ කාන්තාවක් මෙසේ කීවාය.

මම අම්මත් එක්ක ආවේ. උදේ හයේ ඉදලා. අම්මට ඇවිදින්න බෑ. මේ පැත්තක වාඩිකරලා ඉන්නවා. රුපියල් 10,000.00ක් ගන්න ඕනෑ. ජීවත් වෙන්න සල්ලි නෑ. මේ සල්ලි ටික අරගෙන තමයි ගෙදරට හාල් පොල් ටිකක් අරන් යන්නේ.

සිත්ති මරලියා මෙසේ කීවාය

අපි මේ දවස් තුනම ආවා. සල්ලි දෙනවා, එන්න කිව්වා. ඉස්සෙල්ලා දවස් දෙකේම උදේ 9.00 ඉදලා හවස 3.00 වෙනකම් ඉදලා හැරිලා ගියා. ඇයි මේ විදියට රස්තියාදු කරන්නේ. වෙනදා එක එක වසමට බෙදලා තමයි සල්ලි දෙන්නේ. මේ සැරේ එකවිට එන්න කිව්වා. මේ නිසා අපි රස්තියාදු වෙනවා. අපිට එන්න කිව්ව නිසා ආවේ.

මෙම ස්ථානයට පැමිණ සිටි ගාල්ල නාගරික මන්ත්‍රී නෆ්රාන් ජිෆ්රි මෙසේ කීවේය.

මේවා මේ මිනිස්සුන්ගේ තැන්පත් සල්ලි. ඒ අයට එන්න කියලා පෝලිම්වල රස්තියාදු කිරීම වැරදියි. අද වෙනවිට මේ මිනිස්සුන්ට කන්න දෙයක් ගන්න සල්ලි නෑ, පැය ගණන් පෝළිමේ ඉදලා හැරිලා යන්න වෙනවා. අපිට බරපතල සැකයක් තියෙනවා මේ මිනිස්සුන්ගේ සල්ලිත් හොරකම් කරලා ද කියලා. ඉක්මණින් මේ අයගේ සල්ලි දෙන්න ඕනෑ. දවසකට 750ක් විතර මේ විදියට පෝළිමේ ඉන්නේ මිනිස්සුන්ට සල්ලි නැති නිසා.

මේ අවස්ථාවේ දී කරුණු පැහැදිළි කළ කළමණාකරු මෙසේ කීවේය.

“ අපි දවසේ දෙන්න පුලුවන් උපරිම සංඛ්‍යාවකට මුදල් ලබාදෙනවා. හැමෝම එකවිට එන නිසා තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ. පරිගණක පද්ධතියේ ගැටලුවකුත් මේ ප්‍රමාදයට හේතුවුණා. අපි ඊයේ දවසේ 4.30 වෙනතුරුම මුදල් ලබා දුන්නා. අදත් උපරිමය දෙනවා. පොළිමේ ඉස්සරහින්ම හිටපු 60 දෙනෙකුට අංක දුන්නා. ඒ අයට දීලා තව 60 දෙනෙකුට අංක දෙනවා. ඒ විදියට අද දවසේ හැකිතරම් පිරිසකට ‍මුදල් ලබා දෙනවා.”

1 COMMENT

  1. පෙට්ටිගලවත්ත සමෘද්ධි බැංකුවට අයත් ප්‍රතිලාභින් වෙත තැන්පත් මුදල් මින් ඉදිරියට නොගෙවන බවට සිදු කල අස්‍යත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති අතර ජනතාව වෙත බොරු ප්‍රචාර සිදු කරමින් විවිධ කණ්ඩායම විවිධ පටු අරමුණු ඉටු කර ගැනීමට ගත් උත්සාහයක් නිසා මෙම තත්ත්වය ඇති වී ඇත. ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි සහකාර අධ්‍යක්ෂ රංජිත් ද සිල්වා මහතා මෙම කරුණු සැලවු වහාම මෙම ස්ථානයට ගොස් ජනතාව වෙත කරුණු පහැදිළි කොට අවශ්‍ය කටයුතු සිදු කරන ලද අතර පොලීමේ සිටි බොහෝ පිරිසක් අද දින තමන්ට මුදල් ලබා ගැනීමට අවශ්‍යතාවයක් නොවු බව පවසමින් ඉන් ඉවත් වෙනු දක්නට ලැබින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!