spot_img
spot_imgspot_img

ඉතිහාසයෙන් සැඟව ගිය ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය විද්‍යාලය යාපනයේ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය විද්‍යාලය ලෙස අප සිතා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයයි. එසේ වුව ද හදිසියේ ම අන්තර්ජාලයේ දක්නට ලැබුණු තොරතුරක් අනුව සොයා බැලූ විට කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය මෙරට පළමු වෛද්‍ය පීඨය නොවන බවත් පළමු වෛද්‍ය පීඨය බිහිවන්නේ යාපනයේ බවත් පැහැදිලි වන කරුණකි. 

අතීතයේ කොළඹ වෛද්‍ය විද්‍යාලය හැඳින්වූයේ කොළඹ මෙඩිකල් කොලීජිය ලෙසයි එයට හේතුව වූයේ බ්‍රිතාන්‍යයන් මෙරට විවිධ වෘත්තිකයන් බිහිකිරීමේ අපේක්ෂාවෙන් කොලීජ ඇති කිරීමයි. නීතීඥයන් බිහිකිරීමට ලෝ කොලීජිය හෙවත් නීති විද්‍යාලයත්, වෛද්‍යවරු බිහිකිරීමට  වෛද්‍ය විද්‍යාලය හෙවත් මෙඩිකල් කොලීජියත්, ඉංජිනේරුවන් බිහිකිරීමට කොළඹ ටෙක්නිකල් කොලීජියත් ආරම්භ කළහ.

මනිපායි රෝහල අතීතයේ ගත් ඡායාරූපයක්

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉතිහාසය සැළකූ විට එය ආරම්භ වී ඇත්තේ වර්ෂ 1870 දී ය. බ්‍රිතාන්‍යයන්ගේ ලිඛිත ඉතිහාසයේ දක්වන්නේ ඔවුන් ඉන්දියාවේ කල්කටා නගරයේ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කළ පසු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ බවයි. ඒ අනුව දකුණු ආසියාවේ ප‍්‍රථම වෛද්‍ය පීඨය ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කල්කටා නගරයේ ආරම්භ කළ වෛද්‍ය විද්‍යාලයයි. එය 1835 දී බෙංගාල මෙඩිකල් කොලේජ් ලෙස ආරම්භ වී ඇත.

ඉතිහාසයේ දැක්වෙන්නේ දකුණු ආසියාවේ ආරම්භ කළ දෙවැනි වෛද්‍ය විද්‍යාලය හා ලංකාවේ ප‍්‍රථම වෛද්‍ය විද්‍යාලය කොළඹ වෛද්‍ය විද්‍යාලය බවයි.

නමුත් එය සත්‍යයක් නොවේ.

1815 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ පූර්ණ යටත් විජිතයක් වීමෙන් පසු මෙරට ආගම ප‍්‍රචාරය කරමින් මිෂනාරී අධ්‍යාපනයට අදාලව පාසල් පිහිටුවීමට කටයුතු කරන අතර ම සෞඛ්‍ය සේවය වැඩිදියුණු කිරීමට ද කටයුතු කරන ලදී.

මේ අතර ඇමෙරිකාවේ සිට පැමිණි ජේම්ස් රිචඩ් ඇතුළු මිෂනාරී කණ්ඩායම සෞඛ්‍ය කටයුතු වැඩිදියුණු කරමින් ජනතාවට සෞඛ්‍ය අධ්‍යාපනය ද ලබාදීමට පියවර ගත්හ. මේ කණ්ඩායමේ සාමාජිකයකු වූ වෛද්‍ය ජෝන් ස්කඩර් යාපනයේ තෙල්ලිපලේ දී බෙහෙත් ශාලාවක් ආරම්භ කළේ යාපනයේ ජනතාවගේ රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමේ අරමුණෙනි. එය මෙරට ඉතිහාසයේ මහජනයා වෙනුවෙන් ආරම්භ වූ පළමුවැනි බටහිර වෛද්‍ය බෙහෙත් ශාලාව ලෙස ඉතිහාසගත වනවාට සැකයක් නැත.

අවුරුදු 16 ක් යාපනයේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ ස්කඩර් සේවය නිමවා 1832 දී ඉන්දියාවේ වෙල්ලෝරයට ගියේය. ඔහුගේ පුරප්පාඩුව පිරවීම සඳහා පැමිණියේ නතන් වෝර්ඞ් නමැති වෛද්‍යවරයෙකි. යාපනයේ මිෂනාරියේ සිටිමින් ගම්දනව් සැරිසරමින් මහත් සේවයක් කළ වෝර්ඩ් යළි බ්‍රිතාන්‍යයට යාමෙන් පසු වෛද්‍ය සැමුවෙල් ෆීලික්ස් ග්‍රීන් යාපනයේ වෛද්‍යවරයා ලෙස පත්ව ආයේය. ඒ 1847 වර්ෂයේ බවට ලිඛිත සාක්ෂි තිබේ.  

වෛද්‍ය සැමුවෙන් ග‍්‍රීන් 1822 ඔක්තෝබර් 10 දා ඇමෙරිකාවේ දී විලියම් ඊ. ග්‍රීන් හට දාව ඒ මහත්මියගේ කුසින් මෙළොව එලිය දුටුවේය. පාසල් අධ්‍යාපනයෙන් පසු සහකාර ලේකම්වරයකු ලෙස රාජ්‍ය සේවයට එක්වුව ද එම සේවය හැරදැමූ සැමුවෙල් ග්‍රීන් තරුණයා 1841 දී වෛද්‍ය වෘත්තිය ඉගෙනුම ඇරඹීය.

ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ නිපුණතා දැක්වූ තරුණ ග්‍රීන් 1845 දී වෛද්‍ය විද්‍යාලයෙන් සමත්ව කෙටි කලකින් මිෂනාරීන් සමග එක්ව සමාජ සේවයට කැපවූයේය.

වෛද්‍ය සැමුවෙල් ෆීලික්ස් ග්‍රීන්

ඔහුගේ වෛද්‍ය සේවයේ ආරම්භය ගැන සඳහන් වන්නේ නොමැකෙන කීර්තියක් අත්කර දෙමිනි. ඒ යාපනයේ උගත් පඩිවරයකු වූ මුත්තු තම්බි නම් අයකුට කළ ප‍්‍රතිකාර සම්බන්ධයෙනි. උදරයක වේදනාවකට වසර ගණනක් දේශීය ප‍්‍රතිකාර ලබාගත්ත ද සුවයක් නොලැබූ මුත්තු තම්බි මිෂනාරී බෙහෙත් ශාලාවට ගියේ ප‍්‍රතිකාර ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. මේ රෝගියා පරීක්ෂා කළ වෛද්‍ය ග්‍රීන් කියා සිටියේ ඔහුගේ උදරයේ ගෙඩියක් ඇති බවයි.

අකමැත්තෙන් වුව ද මෙතෙක් අසා දැක නැති ප‍්‍රතිකාරයකට කැමති වූ මුත්තු තම්බි වෛද්‍යවරයාට සිය උදරය පලා ගෙඩිය ඉවත්කිරීමට කැමැත්ත දුන්නේය. අවසානයේ ශ්‍රී ලංකාවේ සිදුවූ ප‍්‍රථම බටහිර සැත්කම යාපනයේ තෙල්ලිපලේ දී සිදුකැරිණු බව ඒ අනුව සනාථ වෙයි. මීට පෙර එවැනි සැත්කම් ගැන ලිඛිත සාක්ෂියක් නැත.

යාපනයේ වඩුකොඩහි මනිපායි නම් ග‍්‍රාමයේ ලැගුම්ගත් වෛද්‍ය ග්‍රීන් යාපනයේ මිෂනාරී අධ්‍යාපනය ප‍්‍රචලිත වීමට සමගාමීව වෛද්‍ය සේවය ද ව්‍යාප්ත කරමින් ජනතාවගේ සුබ සිද්ධිය සැළසිය යුතු බව වටහාගෙන සිටියේය. එය යාපනයේ වැසියන් මිෂනාරී දහම කෙරෙහි නම්මවා ගැනීමට හේතුවක් වන බැවින් ඔහු නියෝජනය කළ මිෂනාරීවරු දැඩි කැමැත්තක් හා උනන්දුවක් දැක්වූහ.

මේ කටයුතු වඩාත් පහසු කර ගැනීමට යාපනයේ ස්වදේශීය තරුණයන්ට වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දීම වෛද්‍ය ග්‍රීන් විසින් ආරම්භ කැරිණි. ඒ 1848 වර්ෂයේ දී ය. ඔහු වෛද්‍යවරු පුහුණුකරන ස්ථානය හැඳින්වූයේ “මනිපායි මෙඩිකල් කොලේජ්” නමිනි.

බ්‍රිතාන්‍යයන් විසින් යාපනයේ දී මෙවන් කටයුත්තක් ආරම්භ කිරීමට හේතුවක් තිබිණි. යාපනය යනු මහනුවර රජ සමයේ දී පවා වෙනම ප‍්‍රාදේශීය රජකු යටතේ පාලනය වූ පෙදෙසකි. එබැවින් සිංහල රාජ්‍ය පාලනයෙන් අත්මිදුණු යාපනය විශාල භූමි භාගයක් ද වූයේය. පහසුවෙන් යාපනය යටත් කරගත් බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාව සමග පැවති සම්බන්ධතා හේතුවෙන් ද එහි පාලනය ගෙන යාම පහසු වූයේය. විටින් විට කන්ද උඩරට ඇතිවන කළ කෝලාහල සමඟ යාපනය සම්බන්ධයක් නොවූ බැවින් යාපනය අර්ධද්වීපය පාලනය කිරීම බ්‍රිතාන්‍යයන්ට අපහසු කාර්යයක් නොවේ. මේ හේතුවෙන් ඔවුහු යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළහ.

යාපනයේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරමින් ස්වදේශිකයන් වෛද්‍ය විද්‍යාවට යොමු කරන්නේ ද ඒ හේතුවෙනි. එසේ වුව ද වෛද්‍ය ග්‍රීන්ගේ බලාපොරොත්තුව එතරම් සඵල වූයේ නැත. ඇමරිකාවේ සම්ප‍්‍රදායට අනුව වෛද්‍ය විද්‍යාව හදාරන යාපනය තරුණයෝ ඉංග්‍රීසීන්ගේ බළකොටු හා ඒ ආශ්‍රිතව ඇති රෝහල් සඳහා යොමු කිරිමෙන් මහජන සේවයට යෙදවීම අපහසු කාර්යයක් විය. වෛද්‍ය විද්‍යාලයෙන් වසර තුනක පාඨමාලාව හදාරන ලද තවත් තරුණයන් පිරිසක් ඉන්දියාවේ හා මලයාසියාවේ රෝහල්වල සේවයට ගිය බැවින් යාපනයේ වෛද්‍ය සේවයට ඉතිරි වූයේ නැත.

ග්‍රීන්ගෙන් වෛද්‍යවිද්‍යාව ඉගෙන වෛද්‍යවරු බවට පත්වූ සිසුන් කණ්ඩායමක්

මෙයට විකල්පයක් ලෙස වෛද්‍ය ග්‍රීන් මහතා අපූරු තීන්දුවක් ගත්තේය. ඒ වනවිට දෙමළ භාෂාවේ ප‍්‍රවීනයකු වී සිටි වෛද්‍යවරයා ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු පිටු 4000 ක වෛද්‍ය ග‍්‍රන්ථයක් දෙමළ භාෂාවට පරිවර්ථනය කළේය. ඔහුගේ අපේක්ෂාව වූයේ දෙමළ තරුණයන් වෛද්‍යවරු වී විදේශගතවීම වැළැක්වීම ස`දහා දෙමළ භාෂාවෙන් වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමයි. එය සාර්ථක විය.

පැරණි ලේඛණ අනුව වෛද්‍ය ග්‍රීන්ගේ යාපනය මනිපායි වෛද්‍ය විද්‍යාලයෙන් 1848 සිට 1878 දක්වා කාලයේ දී වෛද්‍යවරු 87 දෙනකු පුහුණුව ලබා පිටවූහ.

වෛද්‍ය ග්‍රීන් 1850 දී එවකට යාපනයේ දිසාපතිවරයාගේ අනුග‍්‍රහය ඇතිව Friend in Need society නමින් රෝහලක් ආරම්භ කළේය. එය යාපනයේ ආරම්භ කළ පළමු රෝහලයි.

වෛද්‍ය ග්‍රීන් මහතාගේ මෙරට සේවා කාලය වසර 20කි. ඒ අතරතුර වරක් ඇමෙරිකාවට ගිය ඔහු විවාහ වී යළි පැමිණියේය. 1870 දී කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු වෛද්‍ය ග්‍රීන්ගේ වෛද්‍ය විද්‍යාලය වැසී ගියේය. එහි අවසන්වරට ඉගෙනුම ලබමින් සිටි සිසුන් 07 දෙනා ද කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් කැරිණි.

යළිත් පසු කාලයක දී යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කෙරුණි. වෛද්‍ය ග්‍රීන් විසින් ආරම්භ කරන ලද වෛද්‍ය විද්‍යාලය පිහිටි ස්ථානයේ දැනට. වෛද්‍ය ග්‍රීන් අනුස්මරණ රෝහල පවත්වාගෙන යයි. එම ස්ථානයේ හෙදි පුහුණු පාසලක් ද ඇත.

වෛද්‍ය ග්‍රීන් මෙරට වෛද්‍ය විද්‍යාව ප‍්‍රචලිත කිරීම සඳහා කරන ලද සේවයට නිසි ඇගයීමක් ලැබී ඇත්ද යන්න ගැටළුවකි.

ග්‍රීන් අනුස්මරණ රෝහලේ කාර්ය මණ්ඩලය – 1905
ග්‍රීන් අනුස්මරණ රෝහල (පිලිප් ජී.වීරසිංහම් විසින් ගන්නා ලද ඡායාරූපයකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!