spot_img
spot_imgspot_img

සිරුරේ හැඩය ගැන වෙහෙස වී වැඩක් නෑ. ඔබේ සිරුරේ හැඩය තීරණය වෙන හැටි මෙන්න

පුවත්

විදෙස්

විවාහක ජෝඩු 1,000ක් පමණ එකම තැනකට රැස්කට සිටිය ද ඔවුන් දෙස හොඳින් නිරීක්ෂණය කරන මානව විද්‍යාඥයකුට ඒ අතරින් විවාහක සැමියන් හා බිරින්දෑවරු සැළකිය යුතු ප්‍රමාණයක් නිවැරදිව හඳුනාගත හැකියැයි ප්‍රකට කියමනක් තිබේ.

මෙය විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති කරුණක් නොවේ.

නමුත් අපේ ජන සමාජයේ දී පැවසෙන්නේ බොහෝ ස්වාමිපුරුෂයන් සහ බිරින්දෑවරු එකිනෙකට රූපකායෙන් හා සිතුම් පැතුම් අනුව ද එකිනෙකට ගැලපෙන බවයි.

මේ ගැන මනෝ විද්‍යාඥයන් පවසන්නේ මෙවැනි කතාවකි.

බොහෝ දරුවන් කුඩා කාලයේ දී තම දෙමාපියන්ට දැඩි ආදරයක් දක්වයි. ගැහැනු දරුවන්ගේ ලෝකයේ පළමු වීරයා වන්නේ ඇගේ පියාය. පිරිමි ළමුන්ගේ ද ආදරයේ මුල් බීජය හටගන්නේ මවගෙනි. ඔවුන් ක්‍රමයෙන් නව යොවුන් විට පත්ව තරුණ වියට පිය නගන විට පිරිමි දරුවන් වැඩිම ආකර්ශනයක් දක්වන්නේ තම මවට රූපයෙන්, හැසිරීමෙන් සහ ගතිගුණවලින් සමාන වූ තරුණියන් කෙරෙහි බව මනෝ විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. එමෙන් ම දැරියෝ ද යොවු වියට එළඹෙත්ම තම කුඩා කාලයේ එකම වීරයා වූ සිය පියාගේ රූපයට, හැසිරීමට හා ගතිගුණට සමානකම් දක්වන තරුණයන් කෙරෙහි වඩාත් ආකර්ශනය වෙති.

ඉන් පසු මෙසේ තෝරාගන්නා අය සමඟ විවාහ වී වසර ගණනක් යනවිට ඔවුන් සමාජය තුළ හැසිරෙන ආකාරය, සිතන පතන අයුරු පමණක් නොව ඔවුන්ගේ රූපකායේ දී බොහෝ සමාන කම් දකින්නට ලැබෙනු ඇතැයි යන්න බොහෝ දෙනකුගේ මතයයි.

නමුත් මෙය සැබෑවක් ද ?

එක් පුද්ගයකු හා සෑම අතින්ම සමාන වූ තවත් පුද්ගලයන් මේ ලෝකයේ සිටින බව බොහෝ දෙනකු පිළිගත් මතයක් වුව ද එවැන්නක් සොයාගත නොහැකිය.

වඳුරු රැළක හෝ රිලා රැළක සියලු සතුන් අපට පෙනෙන්නේ එක හා සමානවය. නමුත් ඔවුන් දෙස හොඳින් නිරීක්ෂණය කරන විට ඔවුන් එකිනෙකා වෙන වෙනම හොඳින් හඳුනන බව ඉතාමත් පැහැදිලිය. රිලා අම්මලා පැටවුන් 20-30ක් සිටිය ද තම පැටවා හඳුනනවා සේම පැටවුන් ද තම මව බැලූ බැල්මට හොඳින් හඳුනයි. ඒ සතුන් අතර අපට තේරුම්ගත නොහැකි වෙනස් ආකාරයක් තිබේ.

මිනිස් වර්ගයා අතරමන් විශාල වෙනසක් ඇති බව අපි දනිමු. දහස් ගණනක් නොව ලක්ෂ ගණනක් සිටිය ද අප දන්නා හඳුනන තැනැත්තා හෝ තැනැත්තිය අපට පහසුවෙන් වෙන්කර හඳුනාගත හැක්කේ මේ විවිධත්වය හේතුවෙනි.

මෙය සැබැවින්ම සිදුවන්නේ කෙසේ ද ?

මිනිසා යනු Homo sapience sapience  නම් මානව විශේෂයයි. කුරු මීයකුගෙන් පරිනාමය වීම ඇරඹී වසර මිලියන ගණනක් පුරා වෙනස්කම් රැසකට භාජනය වී අද සිටින නූතන මානව පරම්පරාව දක්වා පරිනාමය වී ඇතත් මේ එකම විශේෂයකි.

නමුත් මිනිසාගේ බාහිර පෙනුම පදනම් කරගනිමින් මානවයින් ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා දැක්වීමට මානව විද්‍යාඥයන් කටයුතු කර තිබේ.

චීනය, ජපානය, කොරියාව, තායිලන්තය වැනි නැගෙනහිර ආසියාතික රටවල වාසය කරන ජන වර්ගය මොන්ගොලොයිඩ් ලෙස හඳුන්වයි. අළු පැහැති කුඩා ඇස්, කහ පැහැයට හුුරු සම, පළල් දෙකාපුල්, සිරුරේ රෝම අවම වීම, උසින් සාපේක්ෂව අඩුවීම ඔවුන්ගේ විශේෂ ලක්ෂණ වෙයි.

මොන්ගලොයිඩ් ජනතාව

යුරෝපය, ඉරානය, ඉරාකය සහ දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය වැනි රටවල ජනතාව කෝකසොයිඩ් ලෙස වර්ග කර තිබේ. සුදු පැහැති සම, නිල් පැහැති ඇස්, රන්වන් පැහැති හිසකෙස් මොවුන්ට ඇතැයි කීව ද දකුණු ආසියාව දෙනට එන විට සමකය ආසන්න බැවින් සම කලු පැහැති හා හිසකෙස් කලු පැහැති වී ඇති අතර ඇස්ද කළු හෝ තද දුඹුරු පැහැතිය. හොඳින් වැඩුණු රෝම දක්නට ඇති අතර උස මහත සිරුරුවලට හිමිකම් කියයි.

කෝකසොයිඩ් ජනතාව

නීග්‍රොයිඩ් ලෙස හැඳින්වෙන්නේ අප්‍රිකානු කලාපයේ වාසය කරන ජනයාය. ඔවුන්ගේ සම තද කළු පැහැතියි. කැරළි ගැසුණ හිසකෙස්, විශාල තොල්, කළු පැහැති ලොකු ඇස්, විශාල නාසය මොවුන් පහසුවෙන් හඳුනාගත හැකි ලක්ෂණ වයෙි. දිගු ශක්තිමත් අත් පා ඇතුළු අවයව සහිත මොවුන් උස මහත සිරුරුවලින් යුක්තවේ.

නීග්‍රොයිඩ් ජනතාව

ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්, පැපුවා නිව්ගිනියා ආදි වාසීන් මෙන් ම ශ්‍රී ලංකාවේ ආදි වාසී ජනතාව ද ඔස්ත්‍රලොයිඩ් ලෙස හැඳින්වේ. දුඹුරු පැහැති සමක් දක්නට ඇති අතර ඝනව වැඩුණු රෝම, විශාල හනු සහ අක්ෂි කූප මොවුන්ට තිබේ.

ඔස්‍ත්‍රලොයිඩ් ජනතාව

මෙම වර්ගීකරණයට අමතරව 1940 දී ආචාර්ය ඩබ්ලිව්.එච්. ෂෙල්ඩන් විසින් මිනිසුන් ශරීරයේ හැඩය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයකින් පසු ලෝකයේ සිටින මිනිසුන් සියලු දෙනාගේ සිරුරු හැඩ තුනකට අයත්වන බවට වර්ගීකරණය කර තිබේ. එම වර්ග තුන එය එන්ඩර්මෝෆ් (endomorph) , මෙසර්මෝෆ් (mesomorph) සහ එක්ටෙමෝෆ් ( ectomorph) ලෙස හැඳින්වේ.

නූතන්‍ය විද්‍යාවේ පිළිගැනීම වී ඇත්තේ මිහිතලය මත ජීවත්වන හෝමෝ සේපියන්ස් සේපියන්ස් හෙවත් නූතන මානවයන් සියලු දෙනාම ශරිරයේ හැඩය අනුව එම කාණ්ඩ තුනට අයත් වෙයි. එය අප්‍රිකානු, චීන, යුරෝපා හෝ ආදි මානවයන් කියා වෙනසක් නැත.

ෂෙල්ඩන්ගේ වරීගීකරණය අනුව  එන්ඩර්මෝෆ් (endomorphs) වර්ගයේ අයට සෑම විටම වටකුරු සහ මෘදු ශරීර ඇති බවයි, මෙසර්මෝෆ් (mesomorphs) වර්ගයේ අයට සෑම විටම හතරැස් සහ මාංශපේශී වලින් යුක්ත සිරුරක් ඇති අතර එක්ටොමෝ‍ෆ්ස් (ectomorphs) වර්ගයේ අයට සෑම විටම සිහින් සිරුරක් සහ සිහින් අස්ථි සහිත වේ.

මෙම ශරීර හැඩය පුද්ගල පෞරුෂයට සෘජුවම බලපාන බව ඔහු සිය පර්යේෂණ මගින් සනාථ කර තිබේ.  ඔහු පවසන්නේ මොවුන්ගේ ප්‍රමුඛ ලක්ෂණ ගෙලෙහි හොඳින් දැකගත හැකි වයි. එමෙන් ම මේ හැඩය තීරණය වන්නේ මිනිසා කළල අවස්ථාවේ දී බව ද සනාථ කර ඇත.

විද්‍යාඥයන් පවසන්නේ එන්ඩොමෝර්ෆ් වර්ගයේ  පුද්ගලයන්ගේ සිරුර සෑම අවස්ථාවක දී ම වටකුරු ස්වරූපයක් ගන්නා බවයි. මෙය එවැනි පුද්ගලයකුගේ මුහුණේ සිට සිරුරේ සෑම ස්ථානයක ම දක්නට ලැබෙයි. ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ද අනෙක් අයට වඩා සාපේක්ෂව විශාල බව ද පර්යේෂකයෝ‍ පෙන්වා දෙති. ඔවුන් වඩාත් ලිහිල් සිරුරකින් යුතු අතර සුවපහසුව සිටීමටත් ප්‍රියකිරීම බාහි‍රව දැකිය හැකි ලක්ෂණ වෙයි. සිරුරේ මැද කොටස සහ උකුල් වඩාත් විශාල. සිරුර පුරා වැඩිපුර මේදය තැන්පත් වෙයි.

මෙසර්මෝෆ් හැඩයෙන් යුතු අයගේ මාංශ පේසී අස්ථි හා සම්බන්ධ පටකවල සාපේක්ෂ දැඩි බවක් දක්නට ලැබෙන අතර මාංශ පේෂි හොඳින් වර්ධනය වී පැහැදිළිව හඳුනාගත හැකිවේ. බරැතිය. සිරුරු තද ගතියකින් යුතු අතර ශරීරය සෘජු කෝණාස්‍ර හැඩයක් ගනී.  මධ්‍යස්ථ අස්ථි ව්‍යුහයක් ඇති අතර උකුල්වලට වඩා පුළුල් උරහිස් දක්නට ලැබෙයි.

එක්ටොමෝෆ්ස් හැඩැති මිනිසුන්ගේ සිරුර සිහින් සහ රේඛීය වෙයි. සෘජු රූපකායක් දක්නට ලැබේ. ඔවුන් ස්ථුල බවක් පෙන්වන්නේ නැත. වඩාත් කල්පනාකාරී ස්වරූපයක් පෙන්වන සංවේදී පෞරුෂයකින් යුක්ත බව කියයි.

ෂෙල්ඩන්ගේ මේ විග්‍රහය 1940 වර්ෂයේ සිට මේ දක්වාම පිළිගත් න්‍යායක් බවට පත්ව තිබේ.

නමුත් මිනිසකුගේ  පෞරුෂය තීරණනය වන්නේ ශරීර හැඩය හෝ සංයුතිය අනුව යන න්‍යය මනෝ විදධාත්මක පර්යේෂකයන් විසින් මුළුමනින්ම බැහැර කරන කරුණකි.

එමෙන්ම දරුවකුගේ කලල කාලයේ වර්ධනය ඔවුන්න ජීවිත කාලය පුරාම තරබාරු පුද්ගලයකු ද නැතිනම් කෙ‍සඟ පුද්ගලයකු ද යන්න පිළිබඳ තීරණය කළ හැකි සාධකයක් ද යන්න පිළිබඳ මෙතෙක් ලෝකයේ නිශ්චිත විද්‍යාත්මක තහවුරු කිරීමක් සිදුව නැත.

බොහෝ විද්‍යාඥයන් පවසන්නේ කෙනෙකුගේ සිරුරේ හැඩය තීරණය කිරීමට බලපාන්නේ ආහාර රටාව, පාරිසරික හා සමාජයීය බලපෑම්, ජානමය වෙනස්කම්, භූගෝලීය පිහිටීම සහ මුළු ජීවිත කාලය පුරාවටම ගන්නා පුද්ගලික තීරණය යන සියලු කරුණු බවයිි.

මේ අනුව නූතන විද්‍යාඥයන් පවසන්නේ මිනිසකුගේ ශරීරයේ හැඩය තීරණනය වන්නේ කායික විද්‍යාව මෙන්ම ඔවුන් වර්තමාන සමාජය තුළ ක්‍රියාත්මක වන ආකාරය අනුව බවයි. ඒ අනුව සිරුරේ හැඩය ඔවුන්ගේ ස්වරූපයේ සැබෑ පිළිබිඹුවකි.

බැලූ බැල්මට පෙනෙන ශරීර හැඩය තීරණය කරනු ලබන්නේ ජාන විද්‍යාව සහ අවට පරිසරය යන දෙඅංශය ම මගිනි. ඒ සඳහා මිනිසාට පාලනය කළ නොහැකි හේතු මෙන් ම පාලනය කළ හැකි ආහාර සහ ජීවන රටාව ද බලපාන බව වර්තමාන විද්‍යාඥයන් විසින් ෂෙල්ඩන්ගේ මිනිස් හැඩය පිළිබඳ මූලිික සංකල්පයට අලුතෙන් එකතු කර තිබේ.

මේ වනවිට තහවුරු කර ඇති කරුණු අනුව හොඳ උසස් තත්වයේ ආහාර අනුභව කරන අයකු නිදන්ගත රෝගවලින් තොරව ඉහළ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරයි. එමෙන් ම අඛණ්ඩව යම් ක්‍රීඩාවක් වැනි යමක් ප්‍රගුණ කරන අයකු සිටීනම් ඒ පුහුණුව නිසාම හොඳින් මාංශ පේෂි වර්ධනය වන අයකු වෙයි. ෂෙල්ඩන් විස්තර කර ඇති සිහින් සිරුරක් ඇති අයකු වුව ද දවස පුරාම වෙහෙස නොවී අනවශ්‍ය ආහාර ගනිමින් කැලරි විශාල ප්‍රමාණයක් සිරුරට එකතුකරගන්නා අයකු නම් එන්ඩොමෝර්ෆ් අයකු මෙන් මෘදු වටකුරු පෙනුමක් ලැබී ස්ථුල අයකු වීම වැළැක්විය නොහැකිය.

ඒ අනුව පෙනී යන්නේ ෂෙල්ඩන් පැවසූ ආකාරයේ ශරීර වර්ගයක් හිමිවනවා යනු එය ජීවිත කාලයම එකම හැඩයෙන් ම පවත්වාගෙන යාමට සිදුවන්නේ ය යන මතය බිඳ වැටෙන බවයි. වටකුරු ස්ථුල අයකුට වුව ද උත්සාහ ගෙන මාංශ පේෂි වර්ධනය කරගෙන වෙනත් සිරුරු හැඩයක් දක්වා තම සිරුර වෙනස්කරගත හැකි වනු ඇත.

ඒ සඳහා අවබෝධයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!