කහ කුඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 6000.00ක් වැනි අධික මුදලකට අළෙවි කරන ව්‍යාපාරිකයන් අමු කහ කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 100.00ක් වැනි සොච්චම් මුදලක් ගෙවීම හේතුවෙන් කහ වගා කළ ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිති.
පසුගිය දිනවල අමු කහ කිලෝ ග්‍රෑමයක් රුපියල් 250.00 හා 300.00 වන මිලට අළෙවි විය. නමුත් දෙසැම්බර් මාසයේ දී කහ අස්වැන්න නෙලීම හේතුවෙන් මේ වනවිට වෙළෙන්දන් පැමිණ තොග වශයෙන් මිල දී ගන්නේ කහ කිලෝ ග්‍රෑමයකට රුපියල් 100.00ක් වැනි ඉතා අඩු මුදලක් ලබා දෙමිනි.
කහ වගාවට ප්‍රසිද්ධ ගම්පහ දිස්ත්‍රික්කයේ වටිනපහ ගම්මානයේ ව්‍යාපාරිකයෙන් කිලෝ ග්‍රෑමයක් රුපියල් 100.00 බැගින් ඕනෑ තරම් මිලදී ගන්නා බව කියන වගා කරුවෝ එම ව්‍යාපාරිකයා කහ කුඩු කිලෝවක් රුපියල් 6,000.00ක මුදලට අළෙවි කරමින් අධික ලාභයක් ලබන බව ද පෙන්වා දෙති.
වගාකරුවන් පවසන්නේ මේ ව්‍යාපාරිකයා සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්නේ ස්වයං රැකියා ව්‍යාපෘතියක් යටතේ රජයෙන් ආධාර ලෙස ලැබුණු යන්ත්‍ර භාවිතා කරමින් බවයි. එවැනි ව්‍යාපාරිකයන් හේතුවෙන් රජය බලාපොරොත්තුන අරමුණු සාක්ෂාත් කරගත නොහැකි බව ද ගොවීන්ගෙන් නැගෙන චෝදනාවකි.
තම අස්වැන්න කූට ව්‍යාපාරිකයන්ට ලබා ගැනීමට ඇති අවස්ථාව අහුරමින් රජය මැදිහත්ව අමුකහ මිලදී ගැනීමට පියවර ගන්නේ නම් හෝ අමුකහ කිලෝවකට ස්ථිර මිලක් නියම කිරීමට කටයුතු කරන්නේ නම් හෝ ගොවීන්ට එය මහත් අස්වැසිල්ලකි.
කහ කුඩු සදහා පැවති මිල පාලනය ඉවත් කිරීම ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි ව්‍යාපාරිකයන් කරගෙන යන කූට ජාවාරම් නතර කරන්නට වගකිවයුතු බලධාරීන් වහා පියවර ගත යුතු බවද කහ වගාකරුවෝ කියති.



