spot_img
spot_imgspot_img

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල ඉහළට ?

පුවත්

විදෙස්

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඇමෙරිකානු ඩොලර් හිඟයට විසඳුමක් විය හැකියැයි මහ බැංකුව මුදල් අමාත්‍යවරයාට මෙම ලිපිය මගින් දන්වා තිබේ.

ඔහු යෝජනාකර ඇත්තේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35.00කින්, ඩීසල් ලීටරයක් රුපියල් 23.00කින් හා භූමිතෙල් ලීටයක් රුපියල් 11.00 කින් ඉහළ නංවන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ, කැඳවුම්කරු, ආනන්ද පාලිත මෙ‍සේ පවසයි.

“ඩොලර් ඉතිරිකිරීමට නම් ඉන්ධන පරිභෝජනය අඩු කළ යුතු බවත් ඒ සඳහා ඉන්ධන මිල ඉහළ දමන්න යැයි මහ බැංකු අධිපතිවරයා මුදල් ඇමතිට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. මං අහන්න කැමතියි මේ මහ බැංකුවේ නිලධාරීන්ගෙන් මේගොල්ලෝ ලංකාවේ ද ඉන්නේ. දැන් ආණ්ඩුවට කියන්න බෑ ඇමතිවරයාට ඇවිත් කියන්න බෑ දැන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩියි කියලා. දැන් ලෝක වෙළෙඳපොළේ බැරලයක් ඩොලර් 15කින් අඩුවෙලා. දැන් මොකද්ද කියන්නේ, ඉන්ධන පරිභෝජනය සීමා කරන්න ඩොලර් ආරක්ෂා කරන්න රුපියල්වලින් වැඩිකරන්න කියලා.”

මෙලෙස මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට යෝජනා වී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් පහළ බසිමින් පවතින වාතාවරණයක බව වෙළෙඳපොළ දත්ත නිරීක්ෂණය කළ විට තහවුරු වෙයි.

පසුගිය ඔක්තෝබර් 20 වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85.82 ක්ව පැවති අතර මේ වන විට එම මිල ඩොලර් 71.24 දක්වා සියයට 17කින් පහළ බැස තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට මහ බැංකු අධිපතිවරයා කර ඇතැයි කියන යෝජනාව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු අප සමඟ කියා සිටියේ ඒ පුවත තහවුරු කිරීමට තමන්ට නොහැකි වුව ද එය ප්‍රතික්ෂේප කිරීමට ද නොහැකි බවයි.

මේ අතර ඇතැම් පුද්ගලයන් පවසන්නේ මෙරට ඇති ඉන්ධන තොග ප්‍රමාණවත් වන්නේ තවත් දින 10කට පමණක් බවයි. නමුත් ඒ පිළිබඳ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළගෙන් විමසූ විට හෙතෙම කියා සිටියේ ජනවාරි 18 වැනි දා දක්වා ප්‍රමාණවත් තරම් ඉන්ධන මෙරටට ලැබීමට නියමිත බවයි.

ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටලුවක් මතුව ඇතත් සෑම සතියකම ඉන්ධන නැව් හතරක් හෝ පහක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බැවින් ඉන්ධන හිඟයක් ඇති නොවන බව ද අමාත්‍යවරයා කීවේය.

එසේ වුව ද අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයාගේ දැනුම් දීම අනුව ඉන්ධන මිල වැඩි නොකළහොත් ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටලුවක් ඇතිවීමට ඉඩ ඇත. ඉන්ධන නැව් හතරක් හෝ පහක් සතියක ශ්‍රී ලංකාවට පැමිණිය ද එම ඉන්ධන මෙරටට ගොඩබෑමට නම් ණයවර ලිපි නිකුත් කිරීම අත්‍යාවශ්‍ය දෙයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!