spot_img
spot_imgspot_img

රාජ්‍ය සේවකයන්ගේ අයිතිය අහිමි කරමින් නිකුත්කළ ලිපිය අධිකරණයටත් අභියෝගයක්

පුවත්

විදෙස්

රාජ්‍ය නිලධරීන් සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවේචනය කරන්නේ නම් ඊට එරෙහිව විනය පියවර ගන්නා බවට ස්වදේශ කටයතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කළ චක්‍රලේඛයෙන් මෙරට සියලුම රාජ්‍ය සේවකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබේ.

මෙම ලිපිය නිකුත් කරන අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති අතර මෙරට අධිකරණවලින් ලබා දී ඇති නියෝගවලට ද පටහැනිව කටයුතු කර තිබේ.

එම ලිපිය මගින් දක්වා ඇත්තේ පරිපාලනයට එරෙහි සෘණාත්මක ප්‍රචාර වැළැක්වීමේ පියවරක් ලෙස සමාජ මාධ්‍ය මගින් රජය සහ එහි ප්‍රතිිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසයි. ඒ බව දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටින සියලුම කාර්ය මණ්ඩලවලට දැනුම් දී ඇත.

ලිපිය නිකුත් කරන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන්නේ කොට්ඨාසවලින් ලැබුණු පැමිණිලි අනුව මෙම උපදෙස් නිකුත් කරන බවයි.

ආයන සංග්‍රහය ද උපුටා දක්වමින් ලේකම්වරයා සඳහන් කර ඇත්තේ “රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීම රාජ්‍ය අංශයට අපකීර්තියක් ගෙන දෙන බැවින් රාජ්‍ය අංශයේ සේවකයන්ට දැඩි දඬුවම් පැනවිය හැකියි” යනුවෙනි. එමෙන් ම ඇතැම් රාජ්‍ය සේවකයන් විසින් පළකර ඇති අදහස් සම්බන්ධයෙන් තාක්ෂණ විශේෂඥයන්ගේ සහය ඇතිව දැනටමත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද එහි දක්වා ඇත.

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම ලිපිය නිකුත් කර ඇත්තේ අවම වශයෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ සාමාන්‍ය භාවිත නීතිය ගැන හෝ නොදැන වීම ගැටලු සහගතය.

එම ලිපිය නීති විරෝධී වන්නේ ඇයි ?

  1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේන මෙරට සියලු පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කර ඇත. නමුත් මෙම ලිපිය එය උල්ලංඝනය කරයි.
  2. එමෙන් ම 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ 40 වැනි වගන්තිය අනුව යම් පොදු අධිකාරියක තොරතුරු සඳහා ප්‍රවේශවීමට පුරවැසියන්ට අවස්ථාව ඇති තොරතුරක්, ආයතනයේ ඕනෑම අයකු විසින් ඕනෑම පුරවැසියකුට කවර ආකාරයකින් හෝ ලබා දුන්නේ නම් එලෙස ලබාදුන් තැනැත්තාට හෝ තැනැත්තියට හෝ එරෙහිව කිසිදු ආකාරයක විනයානුකූළ ක්‍රියාමාර්ගයක් ගැනීමට නිතීමය අවසරයක් නැත.

ලේකම්වරයාගේ ලිපිය අධිකරණයට අභියෝගයක් වෙයි

  1. හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිය දී 1993 වර්ෂයේ රට පුරාම එකම වේලාවක සංවිධානය කර තිබූ “ජනඝෝෂාව” සිදුකරමින් තිබිය දී එය නතර කළ ඉංගිරිය පොලිසියට එරෙහිව නීතිඥයකු වූ මහින්ද රාජපක්ෂ ද පෙනී නඩුවක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ “පුරවැසියන්ට රජය විවේචනය කිරීමේ අයිතිය තිබෙන බවයි”. එම තීන්දුවව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කොට ඇත.

“The right to support or to criticize the governments and political parties , policies and programmes is fundamental to the democratic way of life, and the freedom of speech and expression is one which cannot be denied without violating those fundamental principles liberty and justice which lie at the base of all political and civil institutions.”

2. එමෙන් ම, විජේරත්න එදිරිව පෙරේරා (SCFR 379/93,SCM 2.3.94) නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ මෙලෙසිනි. “ රාජ්‍යයෙහි ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවකි.”

3. එම නඩු දෙකට අමතරව තවත් නඩු රැසක් සම්බන්ධයෙන් විවිධ අධිකරණ මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කර තිබේ.

ආයතන සංග්‍රහයේ නියෝගවලින් හෝ චක්‍රලේඛවලින් රාජ්‍ය නිලධාරීන්ගේ භාෂණය හා ප්‍රකාශනයට සීමා දැමිය හැකි ද ?

1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 15.7 වගන්තිය අනුව පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශ කිරීම, රටේ නිදහස, ජාතික ආරක්ෂාව, ජාතික සමගිය, මහජන සෞඛ්‍යය, නීතියේ පැවැත්ම යන කරුණුවලට අදාලව නීතියෙන් නියම කරන ලද සීමාවන්ට යටත්ව ඕනෑම පුරවැසියකුට හිමිවෙයි.

2. නීතිය යන්න 270 වගන්තියේ විස්තර කර ඇත. එම වගන්තිය අනුව මෙරට නීතියක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු, පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්නා ලද පනතක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකිරීමට පෙර වෙනත් ව්‍යවස්ථාදායකයක් විසින් ඇතිකරන ලද නියෝග සහ රාජ සභා ආඥා පනත් පමණි.

3. 2016 අංක 12 දරණ තොරතුරු පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසු 6/2019 චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර ඇතත් එය මෙරට වලංගු නීතියක් නොවේ. චක්‍රලේඛයක් යනු නිලධාරියකු විසින් නිකුත්කරන ලද උපදෙස් මාලාවක් පමණි.

4. එමෙන්ම ආයතන සංග්‍රහය ද මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතියක් නොවේ. එය අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ ලේඛනයක් පමණි.

එබැවින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකර ඇත්තේ මෙරට පුරවැසියන්ට හිමිව ඇති මූලික අයිතිවාසිකම් අහිමිකිරීමට අනීතිකව කටයුතු කිරීමයි.

1 COMMENT

  1. එසේ නම් එයට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමු කරන්න කටයුතු කරමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!