spot_img
spot_imgspot_img

ගාලු කොටුවේ “මාරක පිම්ම”, බැම්ම නිසා වෙනස් වෙයි

පුවත්

විදෙස්

ගාල්ල කොටුවට පැමිණෙන බොහෝ දෙනකු විසින් නැරඹීමට අමතක නොකරන කොඩි ගල මත සිට මුහුදට පණින තරුණයන්ගේ දර්ශනය ඉදිරියේ දී එහි දක්නට නොලැබීමේ තත්වයක් මේ වනවිට උදා වී තිබේ.

ඒ පිම්ම ලෝකය පුරා ප්‍රසිද්ධව ඇත්තේ “ගාලු කොටුවේ මාරක පිම්ම” යන නමිනි

එයට හේතු වී ඇත්තේ  ලෝක බැංකු ආධාර යටතේ සිදුකරන ගාල්ල කොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය හේතුවෙන් එම ස්ථානයේ බැම්මක් බැඳීමට කටයුතු කිරීමයි.

වසර 15ක පමණ කාලයක සිට ගාල්ලේ තරුණයන් කිහිප දෙනකු මේ ස්ථානයේ සිට ත්‍රාසජනක ආකාරයෙන් මුහුදට පනිමින් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් ලබාගෙන සිය ජීවිකාව කරගෙන ගියහ.

ඔවුන් පවසන්නේ වත්මන් සංරක්ෂණ ව්‍යාපෘතිය හේතුවෙන් තමන්ට ජීවිකාව අහිමිවන අතරම සංචාරකයන්ගෙන් මෙරටට මුදල් ලැබීමේ අවස්ථාවක්ද අහිමිවන බවයි.

ඕලන්ද යුගයේ දී “විලෙජික් ක්ලිප්” අට්ටාලය නමින් හඳුන්වා තිබූ මේ මුර අට්ටාල‍යේ නැව් සඳහා මඟ පෙන්වන කොඩියක් සවිකළ බැවින් එය පසුව Flag Rock අට්ටාලය ලෙස හැඳින්විනි. පසුව බ්‍රිතාන්‍ය පාලකයෝ මේ අට්ටාලය මත මෙරට ප්‍රථම ප්‍රදීපාගාරය ඉදිකළහ. එය 1934 වර්ෂයේ දී ගින්නකින් විනාශ විය.

පසුව කිසිදු ඉදිකිරීමක් නොවූ මෙම අට්ටාලය වටා තිබූ කෙටි බැම්ම ද කැඩී ගොස් තිබූ අතර මේ තරුණයෝ අට්ටාලය මත එක් පැත්තක සිට දිවැවිත් ඉන් ලබාගන්නා වේගයත් සමඟ ගුවනට මුසුවී වාතයේ පාවී යමින් මුහුදු ජලයට පණින්නේ එය දකින්නන්ට අපූරු චමත්කාරයක් මෙන්ම ත්‍රාසක්ද ජනිත කරමිනි. එම පැනීමක් සඳහා ඔවුහු නරඹන්නන්ගෙන් මුදල් අයකරගනිති. වැඩිම මුදලක් ලබාදෙන්නේ විදේශිකයෝය. එහි සිටින තරුණයන්ගේ පවුල් නඩත්තු වන්නේ ඒ ලැබෙන මුදලිනි.

මෙය සැබැවින්ම ත්‍රාසජනක වෘත්තියකි. කොටුපවුරේ සිට ඔවුන් මුහුදට පනින ස්ථානයේ ගල් පර කිහිපයක් ම පිහිටා තිබේ. පුංචි වැරදීමක් හෝ සිදුවුවහොත්, නැතිනම් ඔවුන්ගේ වේගය අඩුවුවහොත් ගල් පරයක වැදී ඔවුන්ගේ හිස සුණු විසුණු වී යනු ඇත.

මේ ත්‍රාසජන ක්‍රියාව කොතරම් ජනප්‍රිය වූයේ ද යන්න දැගගත හැකිවන්නේ ලෝකය පුරා ශ්‍රී ලංකාව සහ ගාල්ල සම්න්ධයෙන් ලියැවී ඇති සංචාරක සටහන් නරඹන විට දී ය. මෙරට සංචාරක කර්මාන්තයේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන ස්ථාන දෙක වන්නේ සීගිරිය සහ ගාල්ල කොටුවයි. ගාල්ලට පැමිණෙන සංචාරකයෝ මේ තරුණයන්ගේ ත්‍රාසජන පැනීම නරඹන්නට අමතක නොකරති.

ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලෝකය පුරා සංචරක ප්‍රවර්ධන සඟරාවලත්, වීඩියෝ වැඩසටහන්වලත්, වෙබ් අඩවිවලත් ප්‍රකාශයට පත්ව තිබේ. පුවත්පත් ලිපි ගණනාවක් ද ඒ සම්බන්ධයෙන් ලියැ වී ඇත.

එච්.අසංක ගාල්ල කොටුවේ කොඩි ගල අට්ටාලය මුදුණේ සිට මුහුදට පණින එක් තරුණයෙකි. ඔහු මෙසේ කීවේය.

“අපි මේ රස්සාව පටන් අරගෙන දැන් අවුරුදු 15ක් විතර වෙනවා. අපිට කරන්න වෙනත් කිසිම රැකියාවක් නැහැ. මංකොල්ල කන්න, ගෙවල් බිඳින්න කුඩු විකුණන්න බෑ ඒ නිසා තමයි මෙහෙම දෙයක් පටන්ගත්තේ. මුලදි මේකට කිසිම අවධානයක් තිබුණේ නෑ, හැමෝම හිතුවා අපිට පිස්සු කියලා. නමුත් ටික කාලයක් යනවිට අපි ගැන ලෝකයේ ම අවධානය යොමු වුණා. දැන් ගාල්ලට එන සෑම විදේශිකයෙක් ම අපි ගැන දන්නවා. අපිව හොයාගෙන එනවා. මේක රස්සාව නිසා කාටවත් කරදරයක් නෑ. රජයට වියදමක් යන්නෙත් නෑ, ගාල්ල කොටුවේ ජනප්‍රියම දේ තමයි මේක. ඒ ගැන කිසිම විවාදයකුත් නෑ. අපි විදේශ විනිමය උපයනවා. නමුත් රජයේ බලධාරීන් කරන්නේ ඒ අවස්ථාව අපිට නැති කිරීම”

එච් අසංක

ඔවුන් කොඩි ගල මත සිට පැනීම ආරම්භ කරන කාලයේ දී මෙතැන කෙටි බැම්මක් හෝ තිබුණේ නැත. නමුත් අදින් වසර කිහිපයකට පෙර එතැන අඩි දෙකක් පමණ උසැති කෙටි බැම්මක් බැඳ තිබේ. එම බැම්ම බඳින අවස්ථාවේ දී ඔවුන්ට පැනීමට හැකිවන පරිදි අඩි 04ක පමණ ඉඩක් ඉතුරු කිරිමට එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති අතර ඔවුන් එම ක්‍රියාවේ නිරත නොවන අවස්ථාවල දී එතැන වැටක් යොදා වසා තැබීමට කටයුතු කරයි.

මේ වනවිට ගාල්ල ක‍ොටුවේ ක්‍රියාත්මක කොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ එලෙස බැම්ම නොබැඳ ඉතිරිකර  ඇති කුඩා ඉඩ ගල් බැම්මකින් වසා දමා ඇත. මේ හේතුවෙන් තමන්ට තවදුරටත් මුහුදට පැනීමේ ක්‍රියාවේ නිරතවීමට නොහැකි බව එම තරුණයෝ කියති.

චතුර බුද්ධික එතැනින් මුහුදට පනින තවත් තරුණයෙකි. ඔහු මෙසේ පවසයි.

“අපි දුවගෙන ඇවිල්ලා ගැම්ම අරගෙන තමයි මුහුදට පනින්නේ. වේගය, කෝණය, ඒ ගන්න බලය යන සියල්ල වැදගත් වෙනවා. පහළ තියෙන ගල්වල නොවැදී ඒ ගල් අතරින් මුහුදු වතුරට පනින්න ඕනේ. අඟලක වෙනසකින් අපි ගලක වැදිලා මියයන්න පුළුවන්. මේ බැම්ම බැන්දට පස්සේ ඒක උඩ ඉදගෙන පනින්න කියලා බලධාරීන් කියනවා. නමුත් ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බැම්ම බැන්දාම මේ වැඩේ නවත්වන්න තමයි අපිට සිදුවෙන්නේ.”

චතුර බුද්ධික

ඊ.ඩබ්ලිව්.ඩබ්ලිව්.කේ.ලක්ෂිත ද මෙම ස්ථානයෙන් මුහුදට පනින තරුණයෙකි.

මේ සම්බන්ධයෙන් අපි ගාලු උරුමය පදනමෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ කොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බවයි. නමුත් මහජන විරෝධයක් සේ සළකා එම බැමි කොටස ඉදිකිරීමෙන් වැළකිය හැකි බව ද ඔහු කීවේය. කෙසේ වෙතත් මෙම තරුණයන් සිදුකරන ක්‍රියාව මෙරට වෘත්තියක් ලෙස පිළිගැනීමක් නොමැති කාර්යයක් නිසා නීතිමය පිළිසරණක් මේ වෙනුවෙන් ගත හැකියැයි තමන් නොසිතන බවත් සානුකම්පිතව සහ කොටුවේ ආකර්ශනීය පැවැත්ම සඳහා ඔවුන්ගේ ක්‍රියාව අවශ්‍යයැයි සළකා යම් සාධාරනීය පියවරක් ගැනීමට හැකියාව ඇති බවත් හෙතෙම කීවේය.

මේ සම්බන්ධයෙන් ගාල්ල කොටුව සංරක්ෂණ ව්‍යාපෘතියේ උපදේශකවරයා ලෙස කටයුතු කරන වරලත් වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ මහතාගෙන් විමසූ විට මෙසේ කීවේය.

“කොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය අනුව මේ බැමි කොටස බැඳීම අත්‍යාවශ්‍ය දෙයක්. එතැන මෙවැනි බැම්මක් තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනවා. අපි ඒ තරුණයන්ට උපදෙස් දී තිබෙනවා ලෑලි යොදාගෙන දිව ඒමට හැකි මාර්ගයක් සකස් කරගෙන පනින්න හෝ නැතිනම් බැම්ම මත සිට පනින්න කියා. අපි පිළිගන්නවා මේ තරුණයන් කරන කාර්යය කොටුවේ ආකර්ශනීය බව වැඩි කරන දෙයක්. නමුත් නීතිය අනුව ඒ බැම්ම බැඳීමට සිදුවනවා. එයට අපි වෙනත් විකල්පයක් යොදාගත යුතුයි.”

පසුගිය 10 වැනි දා එම ස්ථානයේ කොටු බැම්ම යළි සකස් කෙරිණි. දැන් මේ තරුණයන් මුහුදට පනින්නේ බැම්ම මතට නැගීමෙන් අනතුරුවය. වෙනදා මෙන් තම දුරක් දිවැවිත් ගුවනට මුසු වී පාවී ගොස් මුහුදු ජල තලය මතට කුරුල්ලෙකු සේ ගමන් කරන්නට ඔවුන්ට හැකියාවව නැත.

එබැවින් දැන ගාල්ල කොටුවේ මාරක පිම්ම වෙනස් වී තිබේ.

4 COMMENTS

  1. කණගාටු වක් ඇති වෙනවා මෙ තරූණයන් ගැන…මා වරක් මෙය නරඹා ඇති නිසා

  2. දුප්පත් එකෙක් හම්බ කරගෙන කෑවොත් ඒකට තමයි හෙනහුරා පාත්වෙන්නෙ.

  3. ඒ ටික ඉතිරි කරලා බැම්ම හැදුවනං ඉවරයිනෙ. නීතිය නැමෙන්නෙ දේශපාලුවන්ට විතරමද

  4. දේශපාලුවෙක්ගේ පුතෙක් පැන්නා නම් ඔය බැම්ම බැදෙයිද? මේක කවදාවත් හැදෙන රටක් නොවේ. කොටුවේ නිති ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වන ආකාරයකට ක්‍රියාත්මක නොවේ. මේක මහ ඛේදවාචකයක්. ඇත්තෙන්ම කනගාටුයි. තව ටික කාලයක් යනකොට ගාල්ලේ ඉන්න අපටත් සල්ලි ගෙවලා යන්න වේවි. 😪😪🤬

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!