දැනට වෙළෙඳ පොළට නිකුත් කර ඇති සියලු ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙසත් ගෑස් බෙදාහැරීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූළ ගෑස් සිලින්ඩර පමණක් වෙළෙඳ පොළට මුදාහරින ලෙස අභියාචනාධිකරණය විසින් ලිට්‍රෝ සමාගමට සහ ලාෆ්ස් සමාගමට දැනුම් දී තිබේ.
දැනට පාරිභෝගිකයින් සතුව ඇති අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදලක් ගෙවීමක් සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ ලෙස ද අධිකරණය විසින් පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර තිබේ.
ගෑස් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර ඇත.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය එම ගෑස් සිලින්ඩරයේ ප්‍රදර්ශනය කරන ලෙස ද අධිකරණ විසින් අදාළ සමාගම්වලට නියම කර ඇත.
අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට නියම කළ අධිකරණය එය ජනවාරි මස 26 වනදා කැඳවන ලෙසත් නියෝග කර ඇත.
මෙම තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරීම සඳහා විශේෂ රැස්වීමක් ලබන විසි වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එම රැස්වීම හදිසියේ ඊයේ දින පැවතුණු බව සඳහන් කර ඇත.
එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු “ප්‍රොපේන්” සංයුතිය සියයට 30 ක් විය යුතු බවට තීන්දු කර ඇතැයි ද රජයේ නීතිඥවරයා අධිකරණයේ දී කියා සිටියේය.