-4.8 C
New York

ගෑස් හිඟය උග්‍ර වෙයි. ආපනශාලා වැසී යයි

Published:

නෞකාවලින් රැගෙන ආ ගෑස් ප්‍රමිතියෙන් තොර යැයි නිර්දේශ වීම හේතුවෙන් ගෑස් මෙරට වෙළෙඳ පොළට නිකුත්කිරීමට නොහැකිවීමේ රට තුළ දැඩි ගෑස් අර්බුදයක් හටගෙන තිබේ.

මෙරට දෛනික ගෑස් අවශ්‍යතාව සිලින්ඩර 85,000ක් පමණ වන අතර එම ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා දින 03කට වරක් ගෑස් සහිත නැවක් මෙරටට පැමිණීම අවශ්‍ය වෙයි.

මේ වනිවිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ගෑස් තොග සහිත නෞකා දෙකක ගෑස් ගොඩබෑමට නොහැකිවීම හේතුවෙන් දැඩි ගෑස් අර්බුදයක් රටතුළ හටගෙන ඇත. පසුගිය ඉරිදා සිට ගෑස් ගොඩබෑම නැවතී ඇත්තේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ අවසරය ඊට හිමි නොවීම හේතුවෙනි.

පසුගිය සති කිහිපයක් පුරා මෙරට ගෑස් සිලින්ඩර, ගෑස් ලිප් හා ඒ ආශ්‍රිතව සිදු වූ පිපිරීම් සහ ගිනි ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශය වූයේ ගෑස් පිපිරීම් වළක්වාගැනීමට නම් ගෑස් කාන්දුවක් හඳුනාගැනීම සඳහා දුර්ගන්ධයක් ඇතිවන අයුරින් එකතුකරනු ලබන රසායනිකය ඊට එක්කර තිබිය යුතු බවයි. නමුත් පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද සොයා බැලීම්වල දී තහවරු වී ඇත්තේ මේ වනවිට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති ගෑස් ගෙන ආ නැව්වල ඇති ගෑස්වල ද එම දුර්ගන්ධය ඇතිකරන රසායනිකය නොමැති බවයි.

මේ හේතුවෙන් පාරිභෝගික අධිකාරිය එම ගෑස් තොග ගොඩබෑමට මෙතෙක් අවසර දී නැතැයි ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයකු කීවේය.

ගෑස් තොග ගොඩබෑමට අවසර නොලැබීම හේතුවෙන් මේ වනවිට කොළඹ ඇතුළු නගර රැසක ආපනශාලා රැසක් වසා දැමීමට සිදුව තිබේ. ආහාර පිසීම සඳහා අවශ්‍ය ගෑස් තොග නොමැතවීම හේතුවෙන් එම තත්වය උදා වී ඇත.

Related articles

Recent articles

spot_img