-4.8 C
New York

වසර 24ක් විභාග වූ නඩුවක විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරයි

Published:

පුරා වසර 24ක් විභාග වූ නඩුවක විත්තිකරුවන් සිව්දෙනකු සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (13) නියෝග කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පුගේ හරස් ප්‍රශ්න හමුවේ පොලිස් නිලධාරීන් පරස්පර විරෝධී කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර නැතැයි තීන්දු කරමින් විත්තිකරුවන් සිව් දෙනාම නිදොස් කර නිදහස් කිරීමට කටයුතු කෙරිණි.

මෙලෙස නිදොස් කර නිදහස් කරන ලද්දේ ඩිලාන් මේරි ඇන්තන් රණවීර, ලේසලි ඇන්ටන් අමරසිංහ, ඇන්ටන් බර්නාඩ් ප්‍රනාන්දු සහ අබ්දුල් අසීස් තම්සීර් මොහිදීන් නමැති සිව් දෙනෙකි. මෙම තීන්දුව ලැබෙන විට ඇන්ටන් බර්නාඩ් ප්‍රනාන්දු මියගොසිනි.

1997 ජනවාරි මස 01 වැනි දා හෝ ඒ ආසන්න දිනයක දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 6.826ක් ළග තබා ගැනීම සහ ජාවාරම් කළ බවට විත්තිකරුවන්ට රෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.

පොලිස් පරීක්ෂක ඉන්දික හපුගොඩට 1997 දෙසැම්බර් 31 වැනි දා රාත්‍රියේ ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් සමඟ ගොස් කරන ලද වැටලීමක දී නොනවත්වා පළාගිය වෑන් රථයක් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමේ දී කුඩු කිලෝ ග්‍රෑම් 16ක් සමඟ මෙම විත්තිකරුව්න අත්අඩංගුවට ගත් බව ද නඩු විභාගයේ දී පැවසිණි.

1997 ජනවාරි 02 වැනි දා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය වූ බවත් මෙම හෙරොයින් තොගය වෙන්නප්පුවේ නිවසකින් සොයගත් බවත් ඒ සමඟ පකිස්තාන ජාතික කාන්තාවක අත්අඩංගුවට ගත් බවත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ හරස් ප්‍රශ්නවල දී අනාවරණය විය.

එමෙන් ම පොලිසිය අධිකරණයට පවසා තිබුණේ ශ්‍රී ලාල් නමැති නිලධාරියකු මේ හෙරොයින් තොගය මුද්‍රා තැබූ බවයි. එම නිලධාරියාගෙන් හරස් ප්‍රශ්න විමසීමේ දී ඔහු මුදා තබා නැති බවත් ඔහු ඊට සහය දුන් බවත් පිළිගෙන තිබේ.

මේ නඩුවේ සාක්ෂිි විශ්ලේෂණය කළ විනිසුරුවරයා වැටලීම් කළ පොලිස් නිලධාරීන් විටින් විට පරස්පර විරෝධී කරුණු ප්‍රකාශ කිරීම හේතුවෙන් විත්තිකරුවන් නිදොස් කර නිදහස් කිරීමට නියෝග කළේය.

Related articles

Recent articles

spot_img