-2.1 C
New York

IMF ණය ගැනීමේ රජයේ සූදානමත් සමඟ අපනයන සමාගම් කෙරෙහි වැඩි ඉල්ලුමක්

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ සිකුරාදා ගනුදෙනු 51,074ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,995ක් බවට පත්විය. දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 215කින් ඉහළ ගිය අතර එය ඒකක 11,393ක් බවට පත්විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,275යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 438යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 314යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එම්බී ලීසිං සමාගම කොටස් මිලියන 82යි, ටෙක්ස් ඇග්‍රෝ සමාගම කොටස් මිලියන 55යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 30යි ලෙස ගනුදෙනු විය.

සිකුරාදා දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ වටිනාම සමාගම ලෙස රුපයල් බිලියන 661ක වත්කමක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, බිලියන 473ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, බිලියන 206ක් වාර්තා කළ කොමර්ෂල් ලීසිං සමාගම තෙවැනි ස්ථානයට ද පත්විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ටෙක්ස්ඇග්‍රෝ සමාගම 37.5%කින් ද ටෙක්ස්ඇග්‍රෝ (X) 33%කින් ද, සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 24%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර සණස බැංකුව කොටස් 450,000ක් රුපියල් 46.00 බැගින් ද, සම්පත් බැංකුව කොටස් 1,286,000ක් රුපියල් 56.50 බැගින් ද, හැටන් නැෂනල් බැංකුව කොටස් 260,000ක් රුපියල් 142.00 බැගින් ද මෙල්ස්ටා කොප් සමාගම කොටස් ලක්ෂ 06ක් රුපියල් 57.00 බැගින් ද හුවමාරු විය.

දිනය තුළ දී විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 117.00ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 132.00ක කොටස් විකුණා තිබේ.

එ් අනුව ශුද්ධ ලෙස අද දිනයේ පමණක් රුපියල් මිලියන 15ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 13යි, ෆෝට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 12යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 5.9යි, එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 5.1යි, කැලණිවැලි සමාගම රුපියල් මිලියන 3.8ක් ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සන්ෂයින් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 22යි, ඩයලොග් සමාගම රුපියල් මිලියන 12යි, සණස බැංකුව රුපියල් මිලියන 8.9යි ත්‍රීඒකර් ෆාම් සමාගම රුපියල් මිලියන 8.4යි බයිරහා ෆාම් සමාගම රුපියල් මිලියන 8යි ලෙස ද සටහන් විය.

භාණ්ඩ හා සේවා අපනයන සමාගම්වල කොටස් මිල දී ගැනීම කෙරෙහි ආයෝජකයන්ගේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා රජය විසින් පවතින ඩොලර් අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් විශාල ණය මුදලක් ලබාගැනීමට සූදානම් වන බවත් එවැනි අවස්ථාවක දී ඩොලරයේ අගය පාලනය කිරීමකින් තොරව වෙළෙඳ පොළ ගනුදෙනු අනුව පවත්වාගෙන යාමට සිදුවන බැවින් භාණ්ඩ හා සේවා අපනයන සමාගම්වල කොටස් මිල දී ගැනීමට ආයෝජකයෝ වැඩි උනන්දුවක් දක්වති.  

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරං‍‍ගොඩ)

Related articles

Recent articles

spot_img