ගාල්ල මහමෝදර පිහිටි සී.ඩබ්ලිව්.ඩබිලිව්. කන්නන්ගර විද්‍යාල භූමියේ ඉදිකර තිබූ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට අද (08) ඇතුළු වූ දෙමාපියන් පිරිසක් එහි තිබූ උපකරණ ඉවත්කර පාසල් පන්තිකාමර එහි ආරම්භ කිරීමට කටයුතු කළහ.
විද්‍යාලයේ පන්ති පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉඩක් නොමැතිවීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය තාවකාලිකව පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල පාසලට පවරාදෙන ලෙස කලක සිට ඉල්ලීම් කර එය ලබාදීමට එකඟ වී තිබූ නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානීන් එය දිනෙන් දිනම විවිධ හේතු කියමින් කලා දමා තිබිණි.
කන්නන්‍ගර විද්‍යාලයේ පන්තිකාමර පැවැති විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක් අබලන්ව ඇති බැවින් තවදුරටත් පන්ති කාමර එහි නොපවත්වන ලෙස ඉංජිනේරු ආයතනයෙන් දැනුම් දී තිබූ බැවින් ඇතැම් පන්ති විදුහලේ ගස් යට ද පැවැත්වීමට සිදුව තිබිණි.
2010 වර්ෂයේ විද්‍යාලයීය භූමියේ කොටසක් වෙන්කරගෙන ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයක් එම ස්ථානයේ ආරම්භ වූ අතර එදා එය ආරම්භ කිරීමට දැඩි විරෝධයක් මතුවිය. නමුත් එම විරෝධය නොතකා ආයුර්වේද විද්‍යාලය එලෙසම පවත්වාගෙන යන ලදී. එසේ වුව ද කාලයක සිට මේ ගොඩනැගිල්ලේ ආයුර්වේ ද කටයුතු සිදුකරන්නේ සති අන්තයේ දිනක් පමණක් බවත් අනෙක් සම්පූර්ණ කාලයම එය වසා දමා ඇති බවත් දෙමාපියෝ කියති.
එමෙන් ම ආයුර්වේද විද්‍යාලය පවත්වාගෙන යාම සඳහා බාලදක්ෂ මාවතේ ද ගොඩනැගිල්ලක් ලබා දී ඇති බැවින් එම ස්ථානය පාසලේ පන්තිකාමර පහක් පවත්වාගෙන යා හැකි බව ද දෙමාපියන්ගේ අදහසයි.
මෙම ගොඩනැගිල්ල පාසලට ලබා ගැනීම සඳහා අද දෙමාපියන් එක්ව එම ස්ථානයේ කටයුුතු කරමින් සිටිය දී ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ බව පවසමින් නිලධාරිනියන් දෙදෙනකු පැමිණ එය ලබාදිය නොහැකි බව කීවෙන් දෙමාපියෝ ඊට එරෙහිව දැඩිව විරෝධයක් දැක්වූහ. එම අවස්ථාවේ නිලධාරීනියන් කියා සිටියේ “පුළුවන් දෙයක් කරන්න. මේක දෙන්නේ නෑ” යනුවෙනි.
“එහෙනම් අපි මේක කඩලා ළමයි ඇතුළට දානවා” යැයි කියමින් දෙමාපියෝ පිරිසක් එහි දොරවල් කඩා පන්තිකාමර ආරම්භ කිරීමට කටයුතු කළහ.








