spot_img
spot_imgspot_img

ඔමික්‍රෝම් රට පුරා පැතිරීමේ අවදානමක්. බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් රටම අනතුරක

පුවත්

විදෙස්

ඔමික්‍රෝම් විකෘති ප්‍රභේදය ආසාදනය වී ඇතැයි මෙරට දී මුල්වරට හඳුනාගත් කාන්තාවගෙන් තවත් විශාල පිරිසකට එම වයිරස ප්‍රභේදය ආසාදනය වී තිබිය හැකියැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

ඔමික්‍රෝම් ආසාදිත කාන්තාව සහ ඇගේ සැමියා 24 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණි විට කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිත බව දැන ලුනාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබිණි.

ඒ වනවිටත් ඔමික්‍රොම් ප්‍රභේදය ලෝකය පුරා පැතිරීමේ අවදානක් තිබූ බැවින් අප්‍රිකාවේ සිට පැමිණෙන පිරිස් ගැන වැඩි අවධානයක් යොමුකර තිබුණ ද ඇයට රෝග ලක්ෂණ නැති බව පවසා 25 වැනි දා ම ඇය වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස් නිරෝධායනයට යොමුකර තිබේ.

වෛද්‍ය අධීක්ෂණය යටතේ එලෙස පිටත්කර යැවූව ද ඇය ආසාදිතබව දන්නා කිසිදු වගකිව යුතු අංශයකින් ඇය පිළිබඳ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම්වත් කර නැත.

ඇගේ ‍ජෛව සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී අනුක්‍රමික පරීක්ෂණයකට යොමුකිරිමෙන් පසු ඇය ඔමික්‍රෝම් ආසාදිත බව හඳුනා ගැණිනි. ඒ සමඟ ඇය පිළිබඳ තොරතුරු මාරවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලැබුණු අතර ඇය ලබා දී තිබූ ලිපිනය අනුව ඇය සොයා යන විට ඇය එම නිවසේ සිට නැත. ඇය විදේශගතව පැමිණ නතරව සිට ඇත්තේ වෙනත් නිවසකය. ඒ නිවස අවට කිසිවෙකුත් ඇය විදේශයක සිට පැමිණි බව හෝ ඇය කොරෝනා ආසාදිත බව හෝ දැන සිටියේ නැත. මේ නිසාම විශාල පිරිසක් 25 වැනි දා සිට 03 වැනි දා දක්වා දින 09ක කාලයේ දී ඔමික්‍රෝම් ආසාදිත මෙම කාන්තාව සහ ඇගේ සැමියා හමුවී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ ඇය කිසිදු එන්නතක් ගෙන නැති බවයි. ඒ බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇත.

මෙම කාන්තාව පවසා ඇත්ත් නයිජීරියාවේ ආගමික සමුළුවකට සහභාගී වීම සඳහා එහි ගිය බවයි. ඇය සහ සැමියා මාසයක කාලයක් එම රටෙහි රැඳී සිට තිබේ.

නමුත් ගැටලුව ඇත්තේ කිසිදු එන්නතක් ලබා නොගත් මෙම දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළින් නයිජීරියාව බලා ගියේ කෙසේ ද යන්නයි. එමෙන්ම ඔවුන් නැවත මෙරටට පැමිණියේ කෙසේද යන්නත් සොය‍ා බැලිය යුතු කරුණකි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ එවැනි පුද්ගලයන් දෙදෙනකු සිටින බව දැනගෙන ඇත්තේ ඔවුන් නිවසට පැමිණ දින 09කට පසු 03 වැනි දා බවයි.

මෙරට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම වර්තමානයේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය දිනක ජාත්‍යන්තර සමුළුවකට සහභාගීවීම සඳහා විදේශ ගතවීමට කටුනායක ගුවන්තොටුපොළට ගිය අවස්ථාවේ දී එන්නත්කරණ කාඩ්පත නොමැතිව ඔහුට ගුවන්යානයට ගොඩවීමට අවසර ලැබුණේ නැත. අවසානයේ ඔහුට සිදුවූයේ එම කාර්ඩ්පතේ ඡායාරූප සිය ජංගම දුරකථනයට ගෙන්වාගෙන එය බලධාරීන්ට පෙන්වීමටය. එවැනි දැඩි නීති තිබිය දී මේ යුවල රටින් පිටව ගොස් යළි ඇතුළු වූයේ කෙසේ ද යන්න ගැටලුවකි.

ඔවුන් සහභාගී වූ ආගමික සමුළුව පිළිබඳ මෙතෙක් කිසිවක් හෙළි කර නැත. කටුනායක බලධාරීන්ට පවසා ඇත්තේ ක්‍රිස්තියානි ආගමික හා ව්‍යාපාරික සමුළුවක් සඳහා යන බවයි. නමුත් ඇගේ සැමියාගේ වෘත්තිය පිළිබඳ කිසිවක් හෙළි කර නැත. එම කාන්තාව ඉංග්‍රීසි භාෂා කථිකාචාර්යවරියක් බව සඳහන් කර ඇති අතර ඔන්ලයින් ක්‍රමයට ඉංග්‍රීසි පන්ති පවත්වන්නියක් බවට ද තොරතුරු තිබේ.  

මෙම කාන්තාවට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝම් විකෘති වයිරස ප්‍රභේදය බව 03 වැනි දා වසංගත රෝග විද්‍යා ඒකකයෙන් හදිසියේම දැනුම් දෙන තුරු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ ඇය ගැන දැන නොසිටි බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. නිරෝධායනය වන බව කියූ නිවසේ නොසිටි ඔවුන් වෙනත් නිවසක සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවට පැමිණ ඇත්තේ ද මුඛ ආවරණ පවා නොමැතිව බව සෞඛ්‍ය අංශ පවසයි.  

එබැවින්, ඔවුන්ගෙන් ඔමික්‍රෝම් වයිරසය සමාජගත වී තිබීමට වැඩි ඉඩක් ඇති බවත් මෙවැනි තත්වයක් තුළ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු උපරිම ආකාරයෙන් ආරක්ෂා කිරිමටත්, අන්තර් සම්බන්ධතා අවම මට්ටමක පවත්වාගැනීමටත් කටයුතු නොකළහොත් ඔමික්‍රෝම් වයිරසය රටපුරා පැතිරීයාම වළක්වාගැනීමට අපහසු වනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කීවේය.

මේ සිදුවීම් ජාලය තුළ රටේම අවධානය යොමුවිය යුතු කරුණු රැසක් තිබේ.

එන්නත් කිසිවක් නොගත් යුවළක් රටින් පිටව ගියේ කෙසේ ද ?

ඔවුන් නැවත කිසිදු එන්නතක් නොගෙන ශ්‍රී ලංකාවට පැමිණියේ කෙසේ ද ?

ඇන්ටිජන් පරීක්ෂණයකින් ඇය ආසාදිත බව තහවුරු වී තිබිය දී අප්‍රිකානු රටකින් පැමිණි බව දැන දැනම ඇය නි‍වසේ නිරෝධායනයට යොමු කළේ කාගේ වුවමනාවට ද ?

මෙම කාන්තාව නිවසේ නිරෝධායනය සඳහා යොමු කළ බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධරීවරයාට දැනුම් නොදුන්නේ ඇයි ?

මෙවැනි නීති විරෝධී කටයුතුවල යෙදුණු මේ යුවළ සම්බන්ධයෙන් ගන්නා නීතිමය පියවර කවරේ ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!