spot_img
spot_imgspot_img

“ශ්‍රී ලංකාවම දකුණේ” සෞඛ්‍ය ලොක්කෝ රටට බොරු කියා ජනාධිපතිත් රවටයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය ආරම්භ වී වසර දෙකක් ගතවන විටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවලට කොරෝනා දත්ත සම්බන්ධ නිවැරදි ලේඛන සැකසීමට නොහැකි බව මේ වනවිට පැහැදිළි වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද අවස්ථා කිහිපයක දී ම සෞඛ්‍ය බලධාරීන්ට දෝෂාරෝපණ කළ ද ඔවුන් තවමත් නිවැරදි නොවන බව දෛනික වාර්තා අනුව පැහැදිලි වේ.

අප මේ බව කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සමස්ථ රටේම තොරතුරු යොදාගනිමින් නිකුත් කරන කොරෝනා දත්ත සහ දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් නිකුත් කරන දත්ත පදනම් කරගනිමිනි.

පසුගිය නොවැම්බර් 23 වැනි දා සිට ඊයේ (02) දිනය දක්වා ශ්‍රී ලංකාවෙන් හමුවන දෛනික ආසාදිතයන් සංඛ්‍යාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දක්වා ඇත්තේ 700 – 750 අතර සංඛ්‍යාවක් ලෙසිනි. මෙය කිසිදු අවස්ථාවක 700 සීමාවට අඩු වී නොමැති අතර 750 ඉක්මවා නැත. අවම සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 26 වැනි දා වන අතර එම සංඛ්‍යාව 714කි. උපරිමය වාර්තා වී ඇත්තේ 29 වැනි දා වන අතර එම සංඛ්‍යාව 747කි.

දකුණු පළාතෙන් පමණක් එම දින 10ක කාලයේ දී (නොවැම්බර් 23 සිට දෙසැම්බර් 02 දක්වා) දෛනිකව ආසාදිතයන් 271 සිට 604 දක්වා පරාසයක වාර්තා වී තිබේ. ඉහත දින 10 දී ශ්‍රී ලංකාවෙන් අඩුම ආසාදිතයන් ප්‍රමාණයක් වන 714ක් වාර්තා වූ දින දකුණෙන් පමණක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 271ක් වන අතර වන අතර නොවැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 719ක් වන විට දකුණෙන් පමණක් ආසාදිතයන් 604 දෙනකු වාර්තා වී තිබේ.

මෙය සිදුවිය නොහැකි දෙයක් බව ඕනෑම අයකුට බැලූ බැල්මට අවබෝධ කරගැනීමට හැකියාව තිබේ.

ගත වූ අවසන් දින 10 දී සමස්ත ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 7351 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ලේඛනවල දැක්වේ. එසේ වුව ද එම දින 10 දී දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් පමණක් ආසාදිතයන් 4,187ක් වාර්තා වී තිබේ. එම ප්‍රමාණය සමස්ත ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ප්‍රමාණයෙන් අඩකටත් වැඩිය.

දකුණෙන් ආසාදිතයන් 604ක් වාර්තා වූ නොවැම්බර් මස 27 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල දත්ත ලේඛනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 719ක් ලෙස සඳහන් වේ. ඔවුන්ට අනුව දකුණේ දිස්ත්‍රික්ක තුන හැරුණු විට අනෙකුත් සියලු දිස්ත්‍රික්කවලින් වාර්තා වන්නේ ආසාදිතයන් 105කි. මෙය කිසිසේතම විය නොහැකි දෙයකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන්නේ නිවැරදි නොවන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමයි. දින 10ක් ම ආසාදිතයන් සංඛ්‍යාව 700-750ත් අතර පවතින අගයක රඳවන්නේ ඔවුන්ගේ නොහැකියාව වසා ගැනීමට ද නැතිනම් රජය අපහසුතාවට පත්කිරීමට ද යන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සොයා බැලිය යුතු කරුණක් බව අපි සිහිපත් කරන්නෙමු.

නිවැරදි නොවන දත්ත මත පදනම්ව වසංගතයක් පාලනය කළ නොහැකි බව සෞඛ්‍ය බලධාරින් දැන්වත් තේරුම්ගත යුතුය.

ඔවුන් නිවැරදි දත්ත ඉදිරිපත් නොකිරීමෙන් සිදුවන්නේ කොරෝනා වසංගතය ජනතාව විසින් නොසලකා හැරීමයි. එවිට සිදුවන විනාශය සුළුපටු නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!